Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුදල් අධ්‍යක්ෂවරයෙක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනුකළ නඩුවට අධිකාරිය විසින් රු.මි 15.01ක් වැය කරලා

මුදල් අධ්‍යක්ෂවරයෙක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනුකළ නඩුවට අධිකාරිය විසින් රු.මි 15.01ක් වැය කරලා

මුදල් අධ්‍යක්ෂවරයෙක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනුකළ නඩුවට අධිකාරිය විසින් රු.මි 15.01ක් වැය කරලා

2021 වර්ෂයේදී අනිවාර්ය නිවාඩු යැවූ මුදල් අධ්‍යක්ෂවරයෙක් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනුකළ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකාරිය විසින් රු මිලියන 15.01ක් වැයකර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත.

මෙහිදී පැමිණි නිලධාරීන්ගෙන් විමසීමේදී අනාවරණය වී ඇත්තේ මෙම නඩු වලට අදාළව එක් නඩුවාරයකට පෙනී සිටීමට නීතීඥයෙක්ට රු.ලක්ෂ 6ක් ගෙවා ඇති බවයි.

නමුත් මෙම නඩුවේ තීන්දුව ලෙස අදාළ මුදල් අධ්‍යක්ෂවරයා සියලු හිඟ වැටුප් සහ දීමනා සහිතව නැවත සේවයේ පිහිටුවීමට අධිකරණයයෙන් නියෝග කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. නමුත් අධිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත අභියාචනයක් ඉදිරිපත් කොට තිබූ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු වෙමින් පවතින බවද මෙහිදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර කාරක සභාව පෙන්වා දුන්නේ පෞද්ගලික අවශ්‍යතාවන් අනුව නිලධාරීන් අපහසුතාවට පත් කිරීමට මෙම කාලසීමාවේ කටයුතු කර ඇති බව පැහැදිලි වන බවයි. මේ නිසා මහජන මුදල් අවභාවිත වී ඇති බවද කාරක සභාව පෙන්වා දුන්නේය.

ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ අනාවරණය වී ඇත.

එසේම අධිකාරියේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කිරීමට රු. මිලියන 5.59ක ඉංජිනේරු ඇස්තමේන්තුවක් පිළියෙළ කර තිබුණද එය ඊට අදාළ ඉංජිනේරුවරයෙකු අනුමත කර ‍නොතිබුණු බව කෝප් කාරක සභාව පෙන්වා දෙන ලදි.

මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම අලුත්වැඩියාකිරීම් සිදු කරන සමයේ අධිකාරිය සතුව ප්‍රමාණවත් මුදල් නොතිබුණු බවත් මේ නිසා කොන්ත්‍රාත්කරුවෙකු සොයාගැනීමට අපහසු වූ බවත්ය. මේ නිසා ඉතා අපහසුවෙන් මෙම මුදලට කොන්ත්‍රාත්කරුවෙකු සම්බන්ධකර ගැනීමට හැකිවූ බවයි. නමුත් කාරක සභාව පෙන්වා දුන්නේ අඩු මුදලකට කොන්ත්‍රාත්කරුවෙකු සොයාගන්නට සිදු වුවද එය අත්‍යාවශ්‍ය කරුණක් වන බවයි. ඉදිරියේදී එවැනි දේ සිදුනොවීමට කටයුතු කළ යුතු බවට කාරක සභාව උපදෙස් දෙන ලදි.

තවද නව කාර්ය මණ්ඩල සංයුතිය අනුමත කර ගැනීම සම්බන්ධයෙන් සහ පවතින අත්‍යාවශ්‍ය තනතුරු සඳහා වන පුරප්පාඩු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
එසේම කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ පෞද්ගලික අභිලාශයන් සහිතව මෙතෙක් සිටි ප්‍රධානීන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන බවත් මේ නිසා ආයතනය ගමන් කළ යුතු නිවැරදි දිශානතිය ඔස්සේ ගමන් කොට නැති බවයි.

එබැවින් ඉදිරියේදී එම දුර්වලතා මගහරිමින් ආයතනයේ දියුණුව වෙනුවෙන් ක‍ටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය. තවද ආයතනයේ පුද්ගලයින් සම්බන්ධයෙන් පවතින අභ්‍යන්තර පරීක්ෂණ ඉක්මනින් අවසන් කරන ලෙසද හෙතෙම නිර්දේශ කර තිබේ.

Exit mobile version