2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩල පවසයි.
එම මණ්ඩලය සඳහන් කරන්නේ, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 11554.32ක් බවත් එය 2024 එම කාලයට සාපේක්ෂව 6.61%ක වර්ධනයක් බවය.
2025 අගෝස්තු මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,607.58කි.
මෙය 2024 අගෝස්තු මාසයට සාපේක්ෂව 2.57%ක වාර්ෂික වර්ධනයකි.
ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරිමටත්, ගෝලීය තරගකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම මෙයින් පිළිබිඹු කරන බව අපනයන සංවර්ධන මණ්ඩල සඳහන් කරයි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
“මෙම වර්ධනය ගෝලීය වෙළදාමට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඒකාබද්ධ වීම සහ වෙළදපොල අවස්ථා විවිධාංගීකරණය කරමින් අපනයන තරගකාරිත්වය ශක්තිමත් කිරීමට දරන උත්සාහයේ සාර්ථකත්වය ඉස්මතු කරයි. අපගේ අපනයනකරුවන් වෙනස්වන ගෝලිය වෙළදපොලට අනුවර්තනය වන ආකාරයත්, ඔවුන්ගේ ශක්තිමත්භාවයත් මෙමගින් නැවතත් පෙන්වා දී ඇත. අගෝස්තු මාසයේදී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.6ක් ලෙස වර්ධනය වී ඇති අතර පළමු මාස අට තුළ ඇමරිකානු ඩොලර් බිලියන 11ක් ඉක්මවා ගොස් ඇත. ගෝලීය අභියෝග මධ්‍යයේ අපනයනකරුවන්ගේ ශක්තිමත්භාවය මෙයින් පිළිබිඹු කරයි. ඉදිරි අනපේක්ෂිත තත්ත්වයන් පිළිබද සැලකිලිමත් වෙමින්, තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමෙන් සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීම තුලින් 2025 අපනයන ඉලක්කය සපුරා ගත හැකි බව අප විශ්වාස කරමු.”