ගුවන් යානා සහ යුද ටැංකි විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් ගාසා තීරයේ විශාලතම සහ ජනාකීර්ණ ගාසා නගරය වෙත ප්‍රහාර ඉහළ දැමීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසා තීරය අත්පත් කරගැනීමේ යුද උපායමාර්ගික සැලසුමට අනුව සිදුවන මේ ප්‍රහාරවලින් ගාසා නගරයේ ලක්ෂ 10කට ආසන්න පලස්තීනුවන්ගේ පීඩනය ඉහළ ගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ගාසා නගරයේ උතුරු සහ නැඟෙනහිර පළාත්වලින් විශාල පිපිරීම් ඇසෙන බවද වාර්තා වේ.
ඊශ්‍රායල හමුදාව ගාසා නගරයට උතුරින් පිහිටි ජබේලියා ප්‍රදේශයේ සරණාගත කඳවුරු පිහිටි ගොඩනැඟිලි පුපුරුවා හැර ඇති අතර, අවසන් පැය 24 ඇතුළත සිදුවූ එම ප්‍රහාරවලින් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත්, 300කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගාසා තීරයේ හමාස් සංවිධාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ එම ඝාතනයන් සමඟ පසුගිය ඉරිඳා (24) වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ඝාතනයට පත් පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 62,686 දක්වා ඉහළ ගිය බවය. තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1,57,951 දක්වා ඉහළ ගොස් ඇතැයිද වාර්තා වේ. යුද මෙහෙයුම් සඳහා විශේෂ අවස්ථාවලදී පමණක් රාජකාරියේ යොදවන ඉහළ පුහුණුව ලැබූ සෙබළුන් 60,000ක්ද ගාසා ප්‍රහාරවලට සෘජුවම සම්බන්ධ වී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.