ගාසා යුද්ධය අවසන් කිරීමට සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කරගැනීමට රජයට බල කරමින් ලක්ෂ 20කට ආසන්න ඊශ්‍රායල ජනතාව ඊයේ දින (18) දීපව්‍යාප්ත විරෝධතාවක සහ වැඩ වර්ජනයක නිරතවූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.
දීපව්‍යාප්ත විරෝධතාවට පෙර සඳුදා දින (17) රාත්‍රියේ ටෙල් අවීව් නුවර වැටලූ පන් ලක්ෂයකට අධික ඊශ්‍රායල ජනතාව දෙරටේම ජනතාව පීඩාවෙන් මුදා ගැනීමට සහ සාමය උදා කිරීමට ඊශ්‍රායලයට බලපෑම් කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වාර්තා කළේය.
ප්‍රාණ ඇපකරුවන්ගේ සහ අතුරුදන්වූවන්ගේ පවුල් සංසදයට අනුව ටෙල් අවීව් නුවර ඉදිකර ඇති ප්‍රාණ ඇපකරුවන්ගේ චතුරස්‍රය අසළ පැවැති විරෝධතාව ගාසා යුද්ධය ආරම්භ වී වසර දෙකකට ආසන්න කාලය ඇතුළත නගරයේ පැවැති විශාලතම විරෝධතාව බවද වාර්තා වේ. (18) ඊශ්‍රායලය පුරා විරෝධතාව සහ වැඩ වර්ජනය කැඳවීමට පියවර ගනු ලැබුවේ ගාසා තීරය අත්පත් කරගැනීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහු නව යුද සැලසුමක් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගැනීමට එරෙහිව බව එම සංසදය ප්‍රකාශ කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය සඳහන් කළේය.
ටෙල් අවීව් නගරයට අමතරව ජෙරුසලම, හයිෆා, බීර්ෂෙබා සහ තවත් කුඩා නගර රැසක එවැනි විරෝධතා පැවැති බවත්, විරෝධතාකරුවන් ටයර් පුලුස්සමින්ද, මහාමාර්ග සහ අධිවේගී මාර්ග අවහිර කරමින් ද ගාසා යුද්ධය අවසන් කරන ලෙස රජයට බල කළ බවත් වාර්තා වේ. ඉරිදා රාත්‍රි ටෙල් අවීව් නුවර වැටලීමට පෙර විරෝධතාකරුවන් මාර්ග රැසක් අවහිර කර තිබූ අතර, එම මාර්ග නැවත විවෘත කිරීමට බලධාරීන් උත්සාහ කිරීමෙන් පසු දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් සිදුවූ බවද වාර්තා වේ. එවැනි ගැටුම් හේතුවෙන් රට පුරා විරෝධතාකරුවන් 38 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළ බවද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
එරට රාජ්‍ය සේවය, ව්‍යාපාරික ප්‍රජාව, විශ්වවිද්‍යාල, තාක්ෂණික සමාගම් සහ තවත් ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් අතිවිශාල පිරිසක් විරෝධතාවට සමගාමීව පැවැති එක්දින වැඩ වර්ජනයට එක්වූ බවද වාර්තා වේ. (18) උදෑසන ටෙල් අවීව් නුවර ප්‍රාණ ඇපකරුවන්ගේ චතුරස්‍රය අසළට එක්රොක්වී සිටි දැනට හමාස් සංවිධානය රඳවා තබා සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනකුගේ පවුල්වල සාමාජිකයන් මුණගැසීමට හා සහාය පළ කිරීමට ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් ද පැමිණි බව වාර්තා වේ. ඔහු පසුගිය වසරේ නොවැම්බරයේදී ධුරයෙන් නෙරපා දමා ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට ගිවිසුම්ගත වීම ඊශ්‍රායල අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් එවකට ප්‍රතික්ෂේප කරනු ලැබූ බවට චෝදනා කිරීම හේතුවෙන් බවද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය සඳහන් කළේය.