ගතවූ පැය 24ක කාලයේ ගාසා තීරය පුරා ඊශ්‍රායල හමුදාව සිදු කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 95දෙනකු ඝාතනයට පත්වීමත් සමඟ අමෙරිකානු සහාය ඇතිව ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
එම ආහාර මධ්‍යස්ථාන කරා ප්‍රවේශ වීම තහනම් කිරීමට ඊශ්‍රායල හමුදාව පියවර ගෙන ඇති අතර, ආහාර මධ්‍යස්ථාන කරා යෑමෙන් වළකින ලෙස පලස්තීනුවන්ට අනතුරු අඟවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවේචනයට ලක්වී ඇති ඊශ්‍රායල ආහාර බෙදාහැරීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීමේ අරමුණින් එම ආහාර මධ්‍යස්ථාන වසා දැමූ බවට ඊශ්‍රායලය නිවේදනය කර ඇතැයිද වාර්තා වේ.
මේ අතර ගාසා තීරයට අඛණ්ඩව සහනාධාර බෙදාහැරීමට අවස්ථාව සැලසීම සහ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම අරමුණු කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඡන්ද විමසීමක් සිදු කිරීමට නියමිතව ඇති අතර, අමෙරිකාව සිය නිෂේධ බලය භාවිත කරමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් මතුවී ඇතැයිද අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.
ඊයේ වනවිට ගාසා තීරයේ ගර්භිණී මවුවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ කාන්තාවන් පනස්දහසක් පමණ දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටින බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි වාර්තා වේ.