සම්බාධක පනවන බවට ජාත්‍යන්තරයෙන් අනතුරු අඟවා තිබියදීත් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්, ගාසා නුවර සරණාගත කඳවුරක් ලෙස පවත්වාගෙන යන පාසලකට පසුගිය ඉරිදා (25) එල්ල කළ ප්‍රහාරයකින් දරුවන් ඇතුළු 36 දෙනකුට ජීවිත අහිමි වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ඉරිදා සිට ඊයේ දින (26) අලුයම දක්වා කාලය ඇතුළත ගාසා තීරයේ ප්‍රහාරවලින් පලස්තීනුවන් 50කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ තීරණයකට අනුව ගාසා තීරයේ මානුෂීය ආධාර බෙදාහරිනු ලබන ගාසා මානුෂීය පදනමේ ප්‍රධානි ජේක් වුඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, ඔහු එම තීරණය ගෙන ඇත්තේ මානුෂීය මූලධර්මවලට පටහැණිව කටයුතු කිරීමට නොහැකි වීම හේතුවෙන් බවත් වාර්තා වේ. ගාසා තීරයේ මානුෂීය ආධාර හමාස් සංවිධානය විසින් සොරකම් කිරීම නැවැත්වීම සඳහා එම ආධාර බෙදාහැරීම පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් හරහා සිදුවිය යුතු බව ඊශ්‍රායලය අවධාරණය කර ඇති අතර, මනුෂ්‍යත්වය, මධ්‍යස්ථභාවය, අපක්ෂපාතීත්වය හා ස්වාධීනත්වය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම සිය ඉල්ලා අස්වීමට හේතුව බව ජේක් වුඩ් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ අඛණ්ඩව සිදු කරන යුද මෙහෙයුම්වලට රටවල් රැසක් මේ වන විට විරෝධය පළ කර ඇති අතර, යුරෝපීය හා අරාබි රටවල් 20ක විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මැඩ්රිඩ් නුවර පැවැත්වෙන සමුළුවේදී ඊශ්‍රායලයට සම්බාධක පැනවීම සලකා බලන ලෙස එම සමුළුවට සත්කාරකත්වය ලබාදෙන ස්පාඤ්ඤය ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර ඇතැයිද වාර්තා වේ.