Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බදු වංචා කරන ආයතන හා පුද්ගලයන් ප්‍රසිද්ධ කිරීමට රේගුවෙන් තීරණය

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයකින් තොරව රේගු නිලධාරීන්ට 2,308,694,777ක් දිරි දීමනා ගෙවලා

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයකින් තොරව රේගු නිලධාරීන්ට 2,308,694,777ක් දිරි දීමනා ගෙවලා

රේගු වංචා අවම කර බදු නිවැරදිව අයකර ගැනීමට සඳහා රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කර තිබෙනවා.

මෙවැනි පියවරක් මගින් චේතනාන්විතව බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්යයට පත් කර, රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙළඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැලැක්වීම තුලින් නීති විරෝධීව භාණ්ඩ දේශසීමාව හරහා රටට ඇතුල්වීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තුව බව සඳහන් වනවා.

ඒ අනුව, රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් පසුව පැවැත්වෙන පරීක්ෂණයකදී වරදකරුවන් වන පුද්ගලයන්ගේ සහ ආයතනවල විස්තර ප්‍රසිද්ධ කිරීමට තීරණය කර තිබේ.

එසේම මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත මුල්‍ය බුද්ධි අංශයේ මඟ පෙන්වීම මත මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ ඒකකයක් පිහිටුවා ඇති බව දැනුම් දී තිබෙන බව සඳහන්.

එමෙන්ම ඉදිරියේදී රේගු වැරදිවලට සම්බන්ධවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වා සැකකටයුතු ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මුල්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද කටයුතු කරනු ඇති බව සඳහන් වේ.

මෙම වසරේ ජූනි මාසයේ සිට මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර https://www.customs.gov.lk/ යන රේගු වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු මහජනතාවට දැනගත හැකි වන සේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

Exit mobile version