Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෛරය මුදා හළ සමාජයට අධිෂ්ඨානශීලීව උත්තර දුන් ආචාර්ය ෂාෆිගේ දියණිය

වෛරය මුදා හළ සමාජයට අධිෂ්ඨානශීලීව උත්තර දුන් සාෆිගේ දියණිය

වෛරය මුදා හළ සමාජයට අධිෂ්ඨානශීලීව උත්තර දුන් සාෆිගේ දියණිය

2019 දී ඉහළ ප්‍රසිද්ධියක් ලැබූ ව්‍යාජ වන්ධ්‍යාකරණ චෝදනාවකට ලක්වූ ආචාර්ය ශාෆි ශිහාබ්දීන්ගේ දියණිය, 2024 උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලබා රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වී ඇත.

පවුලට එල්ල වූ බලවත් මහජන අවධානය සහ මානසික බලපෑම හේතුවෙන් ඇයට පාසල හැරයාමට සිදු වුවද, ඇය පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙස විභාගයට පෙනී සිටිමින් අසාමාන්‍ය ධෛර්යයක් සහ නොපසුබස්නා බවක් පෙන්වූවාය.

ඇය විද්‍යා විෂය ධාරාවෙන් A 3ක් ලබා, දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේ 12 වැනි ස්ථානයත්, දිවයිනේ 357 වැනි ස්ථානයත් ලබා ගනිමින් රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත්වීමේ අවස්ථාව හිමිකර ගත්තාය.

මීට පෙර, ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන් A 9ක් ලබා ඉහළ දක්ෂතා දක්වා තිබූ අතර, තම පියා මෙන් වෛද්‍යවරියක වී ජනතාවට සේවය කිරීමේ ඇගේ සිහිනය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණාය.

මේ පිළිබඳ සංවේදී සටහනක් වෛද්‍ය සාෆිගේ දුවට ඉගැන්වූ බණ්ඩාර තිලකරත්න නමැති ගුරුවරයකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණා.

ඒ මේ සටහනයි….

මගේ හදවතට වැඩියෙන් ම දැනුණේ මේ අපරාධකරුවෙකු ලෙස හංවඩු ගසන ලද වෛද්‍යවරයාගේ වැඩි මහලු දියණිය එවකට මා සේවය කළ මලියදේව බාලිකාවේ ශිෂ්‍යාවක ලෙස අසරණ වූ අවස්ථාවේ දීය. මා ඒ පිළිබඳ මුහුණු පොතේ ලියා ඇත. සෙයිනබ් ෂාෆි. නවය වසරේ ඉගෙන ගනිමින් සිටියාය. තම පියාණන් නොකළ වරදකට සිරගත වෙද්දී ඇය මලියදේව බාලිකාවෙන් සදහට ම පිටව ගිය අයුරු මගේ ජීවිතයේ කිසි දිනෙක අමතක නොවේ. ඉන් පසු ඇය ගත කර තිබුණේ අතිශය වේදනා කාරී ජීවිතයකි. එහෙත් ඒ සියලු බාධක මැද ඇය අධ්‍යාපනය ජය ගත්තාය. සාමාන්‍යපෙළ විභාගය 9A සහිත ව සමත් වූවාය. ඇය සමත් වූ බව සමාජ මාධ්‍යයෙන් දුටු මම අසීමිත සතුටකට පත් වුණෙමි.

“මම තාත්තාට වඩා හොඳ වෛද්‍ය වරියක් වෙනවා. තාත්තාට අපහාස කරපු හැමෝටම ප්‍රතිකාර කරනවා…”
ඇය සාමාන්‍යපෙළ ප්‍රතිඵලයෙන් පසුව අධිෂ්ඨානශීලීව පැවසුවාය. අද නැවත ඇගේ හඬ මගේ දෙසවනට ආවේ උසස් පෙළ ප්‍රතිඵල සමගයි.

“සර්, මම ෂෙයිනබ්. සර්ට ප්‍රතිඵල කියන්න කතා කළේ. දිස්ත්‍රික් රෑන්ක් එක 12. මෙඩිසින් යන්න පුළුවන්…”
දියණියනි, ඔබ දිරිය දියණියකි. ඔබටත් ඔබේ පවුලටත් සමාජයෙන් හුදෙකලා කොට වෛරය මුදා හළ සමාජයට ඔබ ඉලක්කයටම පහර දී ඇත. මේ රෝගී වූ සමාජය සුවපත් කරන්නට ඔබට නැණ ගුණ සමග යෝධ බල යෝධ වීරිය ලැබේවා…

Exit mobile version