Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙකුට අවුරුදු 56ක සිර දඬුවමක්

අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙකුට අවුරුදු 56ක සිර දඬුවමක්

අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙකුට අවුරුදු 56ක සිර දඬුවමක්

මොනරාගල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට අදාළ ටෙන්ඩර් මුදල් මුදා හැරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුගෙන් අල්ලස් මුදල් ලබා ගත් තාක්ෂණ නිලධාරියෙකුට අවුරුදු 56ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

එම සිරදඬුවම අවුරුදු 07කින් ගෙවී යා යුතු බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 40,000/-ක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 36,000/-ක මුදල දණ්ඩනයක් වශයෙන් අය කර ගන්නා ලෙසත් නියෝග කළේය.

මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ රුපියල් 36,000/-ක අල්ලස් මුදලක් ලබාගත් මඩුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකුටය.

අති දුෂ්කර ප්‍රදේශයක සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතියකට බාධා පැමිණවීම තුළින් විත්තිකරු බරපතළ ක්‍රියාවක් සිදු කර ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා සංවර්ධන කටයුතුවලදී අල්ලස් ලබා ගැනීම රටේ සංවර්ධනයට මෙන්ම රටේ ඉදිරි ගමනටද බාධාවක් බවත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

අල්ලස් ලබා නොදීම රජයේ කාර්යාලයකින් වැඩක් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඇතැම් රජයේ නිලධාරින් අල්ලස් ලබා ගැනීම කලාවක් බවට පත් කරගෙන තිබෙන බවත් සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු රජයේ සේවකයකු වශයෙන් කටයුතු කරමින් මේ ආකාරයෙන් අල්ලස් ලබා ගැනීම කනගාටුදායක තත්ත්වයක් බවද පැවසීය.

2017 වසරේ ඔක්තෝබර් මස 11 වනදා මොනරාගල දිස්ත්‍රික්කයේ කපුලන්ද සහ උඩුගල්ලෙන යන ග්‍රාමීය මාර්ග පිළිසකර කිරීම් කටයුතු වෙනුවෙන් “ලහිරු ගොවි සංවිධානයට” ගෙවිය යුතු ටෙන්ඩර් මුදල් මුදා හැරීම සඳහා රුපියල් 36000/- අල්ලසක් පැමිණිලිකාර කොන්ත්‍රාත්කරුගෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශය කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවය.

ඒ අනුව එල්ල කර තිබූ චෝදනා 08ක් සදහා විත්තිකරු වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරයා එක් එක් චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 07 බැගින් වසර 56ක සිර දඬුවම් නියම කරන බව නියෝග කළේය.

Exit mobile version