සාත්තු සේවා (caregivers) විදේශ රැකියා සඳහා ලබා දෙන පුහුණුවට අදාළ දැනට පවතින විෂය නිර්දේශය සංශෝධනය කිරීමට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තීරණය කර තිබෙනවා.
එම විෂය නිර්දේශයේ සිදු කළ සංශෝධනය පිළිබදව දැනුවත් කිරීම සඳහා වූ වැඩසටහන ඊයේ (16)දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස සංශෝධනය සිදු කොට ඇත්තේ පැවති විෂය නිර්දේශයේ පවත්නා වූ නොගැළපීම් සහ පැරණි විෂය නිර්දේශය යටතේ වෙනත් රටවලට ඇති ඉල්ලුමට අනුව සැපයුම ලබා දීම සදහා පුහුණුව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙය සෑම රටකටම ගැළපෙන ලෙස තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මෙම නව සංශෝධනය හදුන්වා දී තිබෙනවා
සෑම වසර තුනකටම වරක් මෙම සංශෝධනයන් සිදු කරන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.
මෙම සංශෝධිත විෂය නිර්දේශය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය, දඹුල්ල, රත්නපුර, බදුල්ල, තංගල්ල හා පොළොන්නරුව යන පුහුණු මධ්‍යස්ථානයන්හි මෙන්ම කාර්යාංශයේ අනුමැතිය ලද පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන 28ක් තුළ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම සංශෝධිත නව විෂය නිර්දේශය පිළිබද දැනුවත් කිරීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය සුදත් දම්සිංහ මහතාගේ මූලිකත්වයෙන් සිදු කර තිබෙනවා.
නව විෂය නිර්දේශයට අනුව කටයුතු කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අතිරේක අධ්‍යක්ෂ ජනරාල් W.A විජේසිංහ මහතා විසින් සිදු කර තිබෙනවා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් චාමින්ද, පුහුණු අංශයේ කළමණාකරු ආනන්ද ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පුහුණු උපදේශන ආයතන 25 ක නියෝජිතයින් 70 දෙනෙකු ද මෙම වැඩසටහනට එක වී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.