පලස්තීන සරණාගතයන් වෙනුවෙන් සහන සලසන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ඊශ්‍රායලයෙන් ඉවත් කිරීමට එරට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පනත වහාම ඉවත් කරගන්නා ලෙස රටවල් 7ක විදේශ ඇමැතිවරු අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම පනත සම්මත කිරීමෙන් මිලියන ගණනාවක පලස්තීන ජනතාව කුසගින්නේ මිය යනු ඇතැයි විදේශ ඇමැතිවරු අනතුරු අඟවා ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ සතියේදී ඊශ්‍රායල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත එම පනත මගින් ඊශ්‍රායලයේ කිසිදු නිලධාරියකුට එක්සත් ජාතීන්ගේ සහන සේවා ඒජන්සියට සේවය සැපයීම හෝ ඔවුන් සමඟ ගනුදෙනු කිරීම තහනම් වන අතර, ඊශ්‍රායල තුළ එම ඒජන්සිය පවත්වාගෙන යෑමද තහනමට ලක්වනු ඇතැයි වාර්තා වේ.
කැනඩාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, දකුණු කොරියාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල විදේශ ඇමැතිවරු ඒකාබද්ධව එම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.