Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු.ලක්ෂ 1056ක වන්දියක් විදේශ රැකියා වංචාකරුවන්ගෙන් වින්දිතයින්ට

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවුණු මාස 9 තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1056ක් වන්දි වශයෙන් ලබාදීමට කටයුතු කළ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීති නීතීඥ නෙළුම් සමරසේකර මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් හා කාර්යාංශයට ලැබුණු පැමිණිලි මත මෙම නඩු පැවරීම් සිදුකර තිබේ.

මේ අනුව පසුගිය මාස 9තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු ප්‍රමාණය 570කි. එම කාලය තුළ විවිධ පැමිණිලි 3351ක් කාර්යාංශයට ලැබී තිබෙන අතර, ඉන් 1177කට විසඳුම් ලබාදී තිබේ. තවද මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදුකරන ලද වැටලීම් ප්‍රමාණය 19ක් වන අතර, එහිදී පුද්ගලයින් 104 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර, බලපත්‍රලාභී රැකියා ආයතන 17ක් තිබේ.

ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රැමේනියාව, කැනඩාව වැනි රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම් සිදුවන බැවින් කාර්යාංශයෙන් විමසීම් නොකර එවැනි වංචාකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින ලෙස කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි.

තවද, පසුගිය කාලයේදී වංචනිකව එලෙස මුදල් ලබාගත් අය වෙතොත් එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු කාර්යාංශයේ 1989 දුරකථන අංකයට දැනුම් දෙන මෙන්ද කාර්යාංශය ඉල්ලා සිටියි.

Exit mobile version