Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජාතික පොලිස් කොමිසමට නියෝගයක්

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජාතික පොලිස් කොමිසමට නියෝගයක්

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජාතික පොලිස් කොමිසමට නියෝගයක්

ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කළ බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ලබන ඔක්තෝබර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුර සඳහා පත් කිරීමට කරුණු සලකාබලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා දිනයේ (10) ජාතික පොලිස් කොමිසමට නියෝග කළේය.

ජ්‍යේෂ්ඨතම කාන්තා පොලිස් නිලධාරිනියක් වන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම්කාරිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම තුළින් ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවය.

ඒ අනුව ඔක්තෝබර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෙත්සම්කාරිය අදාළ තනතුරට පත් කිරීම සඳහා කරුණු සලකා බලන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබේ.

පෙත්සම්කර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ප්‍රජා පොලිස් ඒකකයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය වශයෙන් කටයුතු කළ තම සේවාදායිකාව වසරක කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කිරීම සඳහා විදේශගත වූ බව පැවසීය.

වසරක සේවා කාලය අවසාන වී මෙරටට පැමිණීමෙන් පසුව තම සේවාදායිකාවට වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට අවසර නොදුන් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ජාතික පොලිස් කොමිසම, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතර දෙනෙකු ඇතුළු 14 දෙනෙකු නම් කර තිබුණි.

Exit mobile version