පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් සහ නාවික හමුදා නිලධාරින් විසින් ගැඹුරු මුහුදේ 2020 වසරේ දී සහ 2019 වසරේදී සිදු කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 2,089.5කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය කිලෝ 1208යි ග්‍රෑම් 756ක් පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ ඉදි කළ අධිබලැති උඳුනේදී පසුගිය සෙනසුරාදා දින (29) ගිනි තබා විනාශ කරන ලදී.
පොලිස් දෙපාර්තමේන්තුවට අයත් මෙම උඳුන පසුගිය මැයි 01 මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරමින් මත්ද්‍රව්‍ය කිලෝ 400ක පමණ ප්‍රමාණයක් ගිනි තබා විනාශ කරන ලදී. පෙරේදා එම උඳුනට දමා විනාශ කරනු ලැබුවේ දෙවැනි මත්ද්‍රව්‍ය තොගයයි. මෙලෙස විනාශ කරන ලද්දේ 2020 අප්‍රේල් මස 1දා මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් හා එක්ව නාවික හමුදා නිලධාරින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතිකයන් 09 දෙනා සන්තකයේ තිබී පොලිස් භාරයට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 614.36ක්. ප්‍රථමවරට ලංකාවෙන් හඳුනාගන්නා ලද කෙටමින් මත්ද්‍රව්‍ය කිලෝ 581.36ක් සහ 2019 නොවැම්බර් මස සහ 2020 වසරේ අප්‍රේල් මස 22දා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගන්නා ලද හොරොයින් කිලෝ 13.686ක් වේ. පසුගිය 24 වනදා කොළඹ මහාධිකරණයේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් විසින් භාර ගන්නා ලද මේ මත්ද්‍රව්‍ය තොගය පොලිස් විශේෂ බළකායේ ආරක්ෂාව යටතේ පුත්තලම ලැක්ටෝස් වත්ත වෙත ගෙන යන ලද අතර අයිස් තොගය 29 වෙනිදාද අනෙකුත් මත්ද්‍රව්‍ය පසුගිය ඉරිදා (30) දිනයේදීද විනාශ කර ඇත.
මේ මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම විනිවිදභාවයකින් සිදු කිරීම සඳහා අධිකරණ විනිසුරුවරුන්, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නියෝජිතයන්, රජයේ රස පරීක්ෂක සහ මාධ්‍යවේදීන් මෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නියෝජිතයන්, එක්ව සිටියහ.