Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාගතය මුළු ගාසාවටම – ලෝක ආහාර වැඩසටහන

සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු - ලෝක ආහාර වැඩසටහන

සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු - ලෝක ආහාර වැඩසටහන

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බව ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්‍රකාශ කළාය.

සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා ඊජිප්තුවේ පැවැත්වෙන සාකච්ඡා කෙසේ හෝ සාර්ථක විය යුතු බවත් මෙම සාකච්ඡාවද අසාර්ථක වුවහොත් ගාසා තීරයේ මානුෂීය ඛේදාන්තයක් ඇති වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත් ඇය පැවැසුවාය.

ගාසා තීරයේ ඇතිවී තිබෙන තත්වය ඉතාමත් බිහිසුණු බවත් ඒ පිළිබඳ ඇසීම බියකරු බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂකවරිය ප්‍රකාශ කළාය.

මේ වනවිට ගාසා තීරයේ ළමයින් 30 දෙනකු පමණ මන්දපෝෂණයෙන් සහ විජලනයෙන් මරණයට පත්ව ඇති බවත් මෙම වසරේ ජූලි මාසය වන විට ගාසා තීරයේ ජනතාවගෙන් හරි අඩක් ප්‍රමාණවත් ආහාර නොමැති වීම හේතුවෙන් දැඩි කුසගින්නකින් පෙළෙනු ඇති බවත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.එසේම ලක්ෂ 22 ක පලස්තීන ජනතාවකට ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ගාසා තීරයේ ජනතාව ආහාර නොමැතිව කුසගින්නේ පෙළෙද්දී සටන් විරාම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පෙර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹෙන්නැයි ඊශ්‍රායල රජයට බල කරමින් දස දහස් සංඛ්‍යාත ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් ටෙල් අවිව් අගනුවරදී පෙළපාලියක් පැවැත්වූහ.

යුද්ධය පූජනීය නැහැ නමුත් ජීවිතය පූජනීයයි යනුවෙන් සටන් පාඨ පවසමින් පෙළපාලියේ ගමන් කළහ.ගාසා අර්බුදය දිග් ගැස්සීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු උත්සාහ දරණ බවට ඇතැම් විරෝධතාකරුවන් චෝදනා කළහ.සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා කිරීමට හමාස් නියෝජිතයන් ඊජිප්තුවට ගොස් සිටියදී ඊශ්‍රායල ජාතිකයන් මෙම පෙළපාලිය පැවැත්වූහ.

Exit mobile version