Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරකට ටොන් 80ක් පමණ බර ප්ලාස්ටික් පෑන් කෝටි 12ක් වෙළෙඳපොළට

වසරකට ටොන් 80ක් පමණ බරැති ප්ලාස්ටික් පෑන් කෝටි 12ක් වෙළෙඳපොළට

ටොන් අසූවක් පමණ බරැති ප්ලාස්ටික් පෑන් කෝටි දොළහක් වසරකට වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය.

පෑන් නිෂ්පාදනය කිරීමට භාවිත කරන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ආයතනයක් මෙරට නොමැති හෙයින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් ප්ලාස්ටික් පෑන් නිපදවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

එමෙන්ම පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්තවලට සහ පෑන් තුඩ සඳහා වැයවන බැවින් පෑන් බටය නැවත නැවත පාවිච්චි කළද පෑනක මිල සැලකිය යුතු ලෙස අඩු නොවන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය.

පරිසරය ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

මේ අතර දිවයින පුරා සුපිරි වෙළෙඳසල් හා ඒවායේ වෙළෙඳ ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් නොගන්නා හෝ නැවත භාවිතා කල හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන පාරිභෝගිකයින්ගේ රුපියල් 500ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5ක මුදලක් අඩු කිරීමට එම ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී එම සුපිරි වෙළෙඳසල් හිමියෝ එකඟත්වය පළ කළහ.

අධික පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය හා ඉන් අනාගතයේදී ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා මෙම වෙළෙඳසල් ප්‍රධානින් දැනුවත් කළේය. ඒ අනුව එම අහිතකර තත්වයන් අවම කරමින් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය තුරන් කිරීම සඳහා මුලික පියවර කිහිපයක් සඳහා කාරක සභාව නිර්දේශ ඉදිරිපත් කළේය.

මේ කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල් අමරසේන, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරුද සහභාගි වූහ.

Exit mobile version