ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සවිමත් කිරීම සඳහා සුවිශේෂ දායකත්වයක් සපයන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී රුපියල් කෝටි 28,920ක (රුපියල් මිලියන 289,200/අමෙරිකානු ඩොලර් මිලියන 964ක) මුදලක් මෙරටට ප්‍රේෂණය කර තිබේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ ඩොලර් මිලියන 488ක් සහ පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 476ක් වශයෙන් එම මුදල මෙරටට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි. මේ අතර පසුගිය 2023 වසරේ පෙබරවාරි මාසයේ මෙරටට ලැබී තිබෙන ප්‍රේෂණවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 407ට සාපේක්ෂව මෙවසරේ පෙබරවාරියේදී ඩොලර් මිලියන 69ක (ආසන්න රුපියල් කෝටි 2,070ක) වර්ධනයක් පෙන්නුම් කරන බවද ඒ වාර්තාව සඳහන් කරයි.
පසුගිය 2023 වසරේ ජනවාරියේදී අමෙරිකානු ඩොලර් මිලියන 437ක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් මෙරටට ප්‍රේෂණය කර තිබෙන අතර, ඒ අනුව විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2024 වසරේදී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ දළ නිල සංචිත 2024 වසරේ පෙබරවාරි මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 4.5ක මට්ටමේ පැවති බවත්, චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම මෙයට ඇතුළත් වන බවත්ය. මේ වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ශුද්ධ පදනම මත එක්සත් ජනපද ඩොලර් මිලියන 240ක් මිලදී ගෙන තිබේ.