Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 පෙබරවාරි 19 දිනට පෙර නිල ඇඳුම් සහ පෙළ පොත් ලබා දීමට පියවර

2024 පෙබරවාරි 19 දිනට පෙර නිල ඇඳුම් සහ පෙළ පොත් ලබා දීමට පියවර

2024 පෙබරවාරි 19 දිනට පෙර නිල ඇඳුම් සහ පෙළ පොත් ලබා දීමට පියවර

නව පාසල් වර්ෂය ආරම්භ වන 2024 පෙබරවාරි 19 දිනට පෙර පිරිවෙන් හා පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එම සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට හැකි වූ බවත් පෙර වර්ෂයේද 50%ක ප්‍රදානයක් ලබා දීමට මුලින් එකඟව සිටි චීන රජය, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත 70%ක දක්වා වැඩි කර එම ප්‍රදානය ලබා දුන් බවත් මෙවරද එය 80% දක්වා තව දුරටත් ඉහළ නංවා ලබා දීමට කටයුතු කළ බවත් වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ මෙරට චීන තානාපති ෂී ෂැං හොං මහතා විසින් චීන ප්‍රදානයේ පළමු පාසල් නිල ඇඳුම් රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට (11) නිල වශයෙන් ‍අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී භාර දුන් අවස්ථාවේදීය.

මෙම ප්‍රදානයෙන් මීටර් මිලියන 5.8ක පළමු නිල ඇඳුම් රෙදි ප්‍රමාණය, මේ වන විට මෙරටට ලැබී ඇති අතර දෙවැනි තොගය පෙබරවාරි 04 වනදා වන විට ලැබී අවසන් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. සෑම සිසු දරුවකුටම නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මකභාවයෙන් ඉහළ නිල ඇඳුම් ලබා දෙමින් සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීමේ අරමුණින් පළමු 80%ක ප්‍රදානය ලබා දෙන නිෂ්පාදකයාගෙන්ම ඉතිරි පාසල් නිල ඇඳුම් රෙදි 20%ක ප්‍රමාණයද මිල දී ගැනීමට රජය කටයුතු කරන බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

මෙරටට ලැබී ඇති පළමු නිල ඇඳුම් රෙදි තොගයේ බෙදාහැරීම්වලට අදාළ කටයුතු පසුගිය ජනවාරි 4 වනදා සිට ආරම්භ කර ඇති බවත් අධ්‍යාපන කාර්යාල 313කට ඒවා යැවෙන බවත් පැවසූ අමාත්‍යවරයා මිලදී ගනු ලබන 20%ක නිල ඇඳුම් රෙදි ප්‍රමාණය මෙරටට ගෙන්වන තුන් වන තොගය වශයෙන් පෙබරවාරි මස 10 වන විට ගෙන්වා අවසන් වන බවද රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මිලදී ගැනීමට මැදිහත්ව ක්‍රියා කරන බවද සඳහන් කළේය.

මීට අමතර ව උසස් පෙළ විෂය ධාරා සහිත සියලු‍ පාසල් ආවරණය වන පරිදි පාසල් 3000ක ප්‍රමාණයක් ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය අනුග්‍රහයද චීන රජය මෙරටට ප්‍රදානය කරන බව මෙහි දී කී අමාත්‍යවරයා, තාක්ෂණයත් සමග ඉදිරියට යන නව අධ්‍යාපන ක්‍රියාවලියට එය මහත් පිටිවහලක් වන බව ප්‍රකාශ කළේය.

රට ආර්ථික වශයෙන් දුෂ්කර අවධියක පසු වන මෙවන් අවස්ථාවක පාසල් නිල ඇඳුම් ලබා දීමට වැය වන මුදලින් රුපියල් බිලියන පහක පමණ මුදලක් ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙන පරිදි චීන රජයෙන් ලබා දුන් මෙම සියලු‍ ප්‍රදානයන් පිළිබඳ චීන රජය කෙරෙහි සිය කෘතවේදීත්වය පිරිනමන බව මෙරට චීන තානාපතිවරයා හමුවේ සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේය.

එමෙන්ම පාසල් පෙළපොත් බෙදාහැරීමේ කටයුතුවලින්ද 80%ක් පමණ මේ වන විට සිදු කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා නව පාසල් වාරය ආරම්භ වන විට එම පෙළ පොත් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

Exit mobile version