Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශානි අබේසේකර රු. කෝටි 100ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනුකරයි

ශානි අබේසේකර රු. කෝටි 100ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනුකරයි

ශානි අබේසේකර රු. කෝටි 100ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනුකරයි

අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිත කරමින් තමන්ව අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය ආත්ම ගරුත්වයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.

එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සම තුළින් ශානි අබේසේකර මහතා කියා සිටින්නේ, කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ගිනිඅවි පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් තමන්ට එරෙහිව ද්වේශ සහගත සහ පළිගැනීමේ චේතනාවෙන් විමර්ශනයක් සිදුකළ බවයි.

පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ තීරණයක් අනුව මෙම විමර්ශනය පැවැත්වුණු බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම විමර්ශනවලදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරී නෙවිල් සිල්වා සහ පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත යන අය තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදුකරන ලෙස විවිධ පුද්ගලයින්ට බලපෑම් කර තිබූ බවත් ශානි අබේසේකර මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ අනුව වගඋත්තරකරුවන් තමන්ව අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් මාස ගණනාවකින් පසුව නීතිපති උපදෙස් මත නිදහස් කෙරුණු බවත් ඔහු සඳහන් කර තිබේ.

මෙහි හරහා වගඋත්තරකරුවන් අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිත කරමින් ද්වේශ සහගත ලෙස තම ආත්ම ගරුත්වයට එල්ල කළ අපකීර්තිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අය කළ දෙන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

Exit mobile version