Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපොස උසස් පෙළ විභාගය කල්දමන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

උසස් පෙළ කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි

උසස් පෙළ කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි

ලබන ජනවාරි මස 04 වනදා පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය තවදුරටත් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබේ.

අදාළ පෙත්සම (27) මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුකරයට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.

ඒ අනුව අදාළ සීමිත විරෝධතා නොවැම්බර් මස 07 වනදාට පෙර ගොනුකරන ලෙසත් අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය අදාළ පෙත්සම සලකාබැලීම සඳහා නොවැම්බර් මස 23වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

කණිෂ්ක සඳරුවන් ඇතුළු උසස් පෙළ විභාග අපේක්ෂකයින් තුන්දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ උසස් පෙළ විභාගයේ නිර්ණායකයන්ට අනුව දින 495ක අධ්‍යයන කාලසීමාවක් හිමිවන බවයි.

එහෙත් රටේ ඇතිවූ විදුලි අර්අබුදය ඇතුළු විවිධ අයහපත් හේතු නිසා මෙවර එම අධ්‍යයන කාල සීමාව දින 300කට පමණ සීමා වී තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මේ හේතුවෙන් සියලු විෂය නිර්දේශ කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම තත්ත්වය යටතේ උසස් පෙළ විභාගය පවත්වනු ලැබූවහොත් තමන්ට දැඩි අගතියක් සිදුවිය හැකි බව කියා සිටී.

ඒ අනුව අදාළ විභාගය තව දුරටත් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ නීතිපතිවරයාව නම්කර ඇත.

Exit mobile version