Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික වැටුප් කොමිෂන් සභාව වසාදැමීමට නියෝගයක් – මසක නඩත්තුවට ලක්ෂ 58ක්

ජාතික වැටුප් කොමිෂන් සභාව මසක නඩත්තුවට ලක්ෂ 58ක්; වසාදැමීමට නියෝග

ජාතික වැටුප් කොමිෂන් සභාව මසක නඩත්තුවට ලක්ෂ 58ක්; වසාදැමීමට නියෝග

ජාතික වැටුප් කොමිෂන් සභාව මේ මස අවසන් වන විට වසාදැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කාර්යාලයක පවත්වා ගෙන යන ජාතික වැටුප් කොමිසම් සභාව සාමාජිකයන් 15කින් සහ කාර්ය මණ්ඩලය 36කින් සමන්විත වන අතර‍, එය නඩත්තු කිරීම සඳහා මසකට රු. ලක්ෂ 58ක් වැය වේ.

ජාතික වැටුප් කොමිසම් සභාවට පවරා ඇති කාර්යභාරය ඒ කොමිසම පිහිටුවීමට පෙර ඉටු කරන ලද්දේ මහා භාණ්ඩාගාරය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි.

ඒ අනුව ජාතික වැටුප් කොමිසම් සභාව දැනට ඉටු කරනු ලබන කටයුතු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ. කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුයුක්ත කෙරෙනු ඇත.

සමාන ආකාරයේ රාජකාරි ඉටු කිරීමට පිහිටුවා ඇති මෙබඳු ආයතන වසාදැමීම මඟින් රජයට විශාල මුදලක් ඉතිරි කරගත හැකි අතර, එය අනවශ්‍ය වියදම් කපාහැරීමට මෙන්ම රාජ්‍ය වියදම් අඩු කරගැනීමටද හේතු වන බැවින් ජනාධිපතිවරයා මේ තීරණය ගෙන තිබේ.

එකම රාජකාරි ඉටු කිරීමට පිහිටුවා ඇති සමාන ආයතන නිසා රාජකාරී ඉටු කරගැනීමට සිදු වන ප්‍රමාද වළක්වාගැනීම මේ ක්‍රියා මාර්ගය නිසා ලැබෙන තවත් විශාල වාසියකි. මෙවැනි අනවශ්‍ය සහ රජයට වැය බරක් වන රාජ්‍ය සේවයට අනවශ්‍ය ප්‍රමාද ඇති කිරීමට හේතු වන තවත් ආයතන රැසක් ඇති අතර, ඒවාද වසාදැමීමට හෝ අදාළ රාජ්‍ය ආයතන සමඟ ඒ්කාබද්ධ කිරීමට ඉදිරියේදී පියවර ගනු ලැබේ. 2023 වර්ෂයට රජයේ අය-වැයෙන් ජාතික වැටුප් කොමිෂන් සභාවේ වියදම් සඳහා වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණය රු. ලක්ෂ 715කි.

Exit mobile version