Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රීඩකයන් 353 කට ආසන්න සංඛ්‍යාවක් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රීඩක ලැයිස්තුවේ වෙන්දේසි වෙයි

ක්‍රීඩකයන් 353 කට ආසන්න සංඛ්‍යාවක් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රීඩක ලැයිස්තුවේ වෙන්දේසි වෙයි

ක්‍රීඩකයන් 353 කට ආසන්න සංඛ්‍යාවක් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රීඩක ලැයිස්තුවේ වෙන්දේසි වෙයි

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියේදී ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, තිසර පෙරේරා, ධනුෂ්ක ගුණතිලක හා වනිඳු හසරංග ඇමෙරිකා ඩොලර් 60,000 (රුපියල් කෝටි 2.5ක් පමණ) බැගින් අලෙවි වෙයි. මේ ක්‍රීඩකයන්ට අමතරව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී වෙන්දේසි වූ විදෙස් ක්‍රීඩකයන් 6ක්ද එම දැවැන්ත මුදලටම වෙන්දේසි වී ඇත.

ඔස්ට්‍රේලියාවේ ඩාචී ෂෝට්, දකුණු අප්‍රිකාවේ ඩෙවේන් ප්‍රිටෝරියස්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක එවීන් ලුවිස් හා කාලෝස් බැරත්වයිට්, පාකිස්තානයේ ඉමාඩ් වසීම් ඇමෙරිකා ඩොලර් 60,000 (රුපියල් කෝටි 2.5ක් පමණ) බැගින් අලෙවි වූ විදෙස් ක්‍රීඩකයෝ වෙති.

දෙස් – විදෙස් ක්‍රිකට් පිටියේ දක්ෂතම ක්‍රීඩකයන්ද සමග ක්‍රීඩකයන් 353 කට ආසන්න සංඛ්‍යාවක් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රීඩක ලැයිස්තුවේ වෙන්දේසිය (05) සිදුවිය.

ක්‍රීඩක වෙන්දේසියට ජාත්‍යන්තර සහ පළමු පෙළ ක්‍රීඩා කළ විදේශීය ක්‍රීඩකයින් 180ක් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 173ක් ඉදිරිපත් කොට තිබිණි. සෑම කණ්ඩායමක් විසින්ම සිය සංචිතයට අවශ්‍ය විදෙස් ක්‍රීඩකයන් 6ක් හා දේශිය ක්‍රීඩකයන් 14ක් මේ වන විට තෝරා ගෙන ඇත.

මෙවර සංවිධාන වන්නේ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ තුන්වැනි ක්‍රීඩා අදියර වන අතර, එය මේ මස 31වැනිදා සිට ආරම්භ කිරීමට‍ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කොට ඇත. තරග සියල්ල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වේ.

මේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු හා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල වර්ගීකරණයේ විස්සයි 20 ශ්‍රේණිගත කිරීමේ පළමු දස දෙනා අතර සිටින පැතුම් නිස්සංක කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම විශේෂත්වයකි. එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය හා තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මධුෂංක වැනි ක්‍රීඩකයන් ද කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගැනීමට ඉදිරිපත් වී නැත.

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට පාකිස්තාන ක්‍රීඩකයන් 9ක් ඇතුළත්ව සිටින අතර, ටෙස්ට් ක්‍රීඩා කරන රටකින් පැමිණෙන වැඩිම පිරිස ලෙස එම ගණන වාර්තා වේ. ඉමාඩ් වසීම් (ගෝල්), ෆහීම් අශ්රෆ් (ගෝල්), අසාම් ඛාන් (ගෝල්), සර්ෆරාස් අහමඩ් (ගෝල්), අසීෆ් අලී (කලම්බු), ෂොහිබ් මලීක් (ජැෆ්නා), ෂහනවාස් දහනි (ජැෆ්නා), උස්මාන් ශින්වාරී (කැන්ඩි), හයිදර් අලී (දඹුල්ල) එම ක්‍රීඩකයෝ වෙති.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් 7ක් ඇතුලත්ව සිටින අතර, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් (ගෝල්), ඩොමිනික් ඩ්‍රේක්ස් (කලම්බු), එවීන් ලුවිස් (ජැෆ්නා), කාලෝස් බැරත්වයිට් (කැන්ඩි ), ෆේබියන් ඇලන් (කැන්ඩි), ඇන්ඩ්‍රේ ෆ්ලෙචර් (කැන්ඩි) හා ෂෙල්ඩන් කොට්‍රල් (දඹුල්ල) එම ක්‍රීඩකයෝ වෙති.

දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් 5ක් මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන අතර, ජනෙමන් මලාන් (ගෝල්), ඩ්වේන් ප්‍රිටෝරියස් (කලම්බු), හාර්ඩස් විලෝජෙන් (ජැෆ්නා), ට්‍රිස්ටන් ස්ටබ්ස් (ජැෆ්නා) හා ඩිවෝල්ඩ් බ්‍රෙවිස් (කැන්ඩි) එම ක්‍රීඩකයෝය.

ඇෆ්ගනිස්තානයෙන් වීන් උල් හක් (කලම්බු ), කරීම් ජැනට් (කලම්බු), ෆසාල්හක් ෆාරුකි (කලම්බු) හා රමුනුල්ලා ගුර්බස් (ජැෆ්නා), ඔස්ට්‍රේලියාවෙන් ක්‍රිස් ග්‍රීන් (කැන්ඩි), ඩාචී ෂෝට්ස් (දඹුල්ල) හා බෙන් කටින් (දඹුල්ල), නේපාලයේ සන්දීප් ලමිච්චේන් (දඹුල්ල) හා නවසීලන්තයේ ටිම් සීෆර්ට් (දඹුල්ල) මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත විදෙස් ක්‍රීඩකයන් අතර වේ.

ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ මීට පෙර කැන්ඩි වොරියර්ස් නමින් තරග වැදුණු මහනුවර කණ්ඩායම මෙවර කැන්ඩි ෆැල්කන්ස් ලෙසින් තරග බිමට පිවිසේ. පිට පිටම දෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉවත්වී කැන්ඩි ෆැල්කන්ස් පිල සමග එක්ව සිටී. අයිපීඑල් මෙගා වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 10යි ලක්ෂ 75 කට අලෙවි වූ 24 හැවිරිදි වනිඳු හසරංග නිමාවූ එම තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ක්‍රීඩා කොට දස්කම් දැක්විය. එහිදී දෙවැනි වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයා වෙමින් තරගාවලියේ හොඳම ක්‍රීඩකයන් දසදෙනා අතර 8 වැනි ස්ථානයේ පසුවිය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු හා දෙවැනි අදියරවලදී තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රවීන් වික්‍රමරත්න මහතා වෙනුවට මෙවර නව තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස සමන්ත දොඩන්වෙල මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති පසුබිමක මෙවර තරගාවලිය පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයකු වන දොඩන්වෙල මහතා ක්‍රිකට් ආයතනයේ තරගාවලි අධ්‍යක්ෂවරයාද වේ.

Exit mobile version