Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දැරියක් දූෂණය කළ ටික්ටොක් “කිරි සමන්” අත්අඩංගුවට

එකොළොස් හැවිරිදි දැරියක් රවටාගෙන සාදවලට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය ලබාදී ඇයව වරින්වර දූෂණය කළ බව කියන “ටික්ටොක් කිරි සමන්” ඇතුළු තරුණයන් සිව් දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකුව තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස දූෂණයට ලක්වී ඇත්තේ කථන ආබාධිත මව්පිය යුවළකගේ එකම දැරිය බවය. අදාළ දැරිය මේ වනවිට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඉකුත් ජනවාරි 01 වනදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට සහභාගීවීම සඳහා නිවසින් පිටවී ගිය දැරිය පසුදින නිවසට නොපැමිණි බවට දැරියගේ දෙමව්පියන් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

එදින පැය කිහිපයකට පසු දැරිය නිවසට පැමිණීමෙන් අනතුරුව පොලීසියට ඇතිවූ සැකයක් මත දැරිය පොලීසිය වෙත ගෙන්වාගෙන මුල්ලේරියාව රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව සිද්ධිය හෙළිකරගැනීමට හැකිවී තිබේ.

එහිදී අන්තරාදායක මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව දැරිය රෝහල් ගතකර තිබුණි.

2021 අගභාගයේදී දැරිය වට්ස්ඇප් මාර්ගයෙන් තරුණියක් හඳුනාගෙන තිබූ අතර ඇය මාර්ගයෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේ තරුණයෙකු ද අනතුරුව රාජගිරිය ප්‍රදේශයේ “ටික්ටොක් කිරි සමන් ” නමැත්තා ද හඳුනාගෙන තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

“ටික්ටොක් කිරි සමන්” නමැත්තා දැරියට සාදයකට පැමිණෙන ලෙස කරන ලද ආරාධනාවක් අනුව දැරිය මවුපියන්ට සහ එකම සහෝදරයට හොර රහසේ දෙසැම්බර් මාසයේ දිනක රාත්‍රී 12ට පමණ නිවසින්  පිටවී සාදයට සහභාගීවී නැවත අලුයම 4ට පමණ නිවසට පැමිණ ඇත.

එහිදී ‘ටික්ටොක් කිරි සමන්’ දැරියව දූෂණයට ලක්කර තිබූ අතර ඔහු සමග සිටි තවත් පුද්ගලයකු දැරිය හා ලිංගිකව එක්වී තිබූ බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ වූ බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරිනියක පැවසුවාය.

පසුව දෙසැම්බර් මස 20, 21, සහ 22 යන දින තුනෙන්  එක් දිනක පෑලියගොඩ ප්‍රදේශයේ සාදයකට යන බව මව්පියන්ට පවසා දැරිය නිවසින් පිටවී ගොස් තිබූ අතර පසු දින අලුයම 6.30 ට පමණ ඇය නැවත නිවසට පැමිණ තිබුණි.

එහිදී ද ‘ටික්ටොක් කිරි සමන්’ සහ තවත් පුද්ගලයකු දැරිය සමග ලිංගිකව එක්වී ඇතැයි පොලීසිය පැවසීය.

එම සාදයේදී කැලණිය ප්‍රදේශයේ තරුණයෙකුද දැරිය හඳුනාගෙන තිබූ අතර ඔහුගේ ආරාධනාව මත ජනවාරි පළමු වනදා දින දෙහිවල ප්‍රදේශයේ සාදයකට දැරිය සහභාගීවී තිබූ බවත් නිවසට පැමිණීමට ප්‍රමාදවීම හේතුවෙන් එම පුද්ගලයා විසින් කැලණිය ප්‍රදේශයේ  සිය මිතුරෙකුගේ නිවසට දැරියව රැගෙන ගොස් දැරිය සමග එදින ලිංගිකව හැසිරී ඇතැයි ද දැරියගේ ප්‍රකාශයේ සඳහන්ය.

පසුදින දහවල් වනතෙක් තම දියණිය නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් කථක ආබාධිත මව්පියන් එහිදී අදාළ පැමිණිල්ල කිරීමෙන් පසු මෙම අපරාධය අනාවරණය කරගැනීමට හැකිවී තිබුණි.

මැටි ගසන ලද කුඩා කාමරයක තමන්ව තබා තිබූ බව  දැරිය පැවසුවද ඒ සම්බන්ධයෙන් නිශ්චිත ස්ථානයක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් වයස අවුරුදු 19 සහ 22 අතර පසුවන රාජගිරිය, මට්ටක්කුලිය, කැලණිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

Exit mobile version