Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක ටෙනිස් ශූර නොවැක් ජොකොවික් ඔස්ට්‍රේලියානු රැඳවුම් භාරයට ගනී

ලෝකයේ අංක එකේ ටෙනිස් ශූර නොවැක් ජොකොවික්, ඔස්ට්‍රේලියානු දේශසීමා බලධාරීන් විසින් රැඳවුම් භාරයට ගෙන තිබේ. ඒ, ඉරිදා දිනයේ එනම් හෙට, ඔහුගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට අදාළ අභියාචනාව විභාගයට ගැනීමට අදාළව ය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගි වීම සදහා මෙල්බන් නුවරට පැමිණ සිටි නොවැක් ජොකොවික්, සිය වීසා අයදුම්පතේ දින 14කට පෙර කිසිදු සංචාරයක් සිදුකර නොමැත යනුවෙන් ව්‍යාජ තොරතුරු සඳහන් කර තිබිණි. මේ වන විට නොවැක්ගේ වීසා දෙවරක්ම ප්‍රතික්ෂේප කර තිබේ.

කෝවිඩ් එන්නත් ද ලබාගෙන නොසිටි මෙම 34 හැවිරිදි සර්බියානු ජාතික ටෙනිස් ශූරයා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ එරට ටෙනිස් සම්මේලනයේ විශේෂ අවසරයක් මත ය. නමුත් උද්ගතව ඇති තත්වය මත ඔහුට තරගාවලියට සහභාගි වීමට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කෙරිණි.

මීට පෙර ඔහු පිටුවහල් කිරීමට එරෙහිව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. එහි සඳහන් වූයේ නියෝගය නිකුත් කර විනාඩි 30 ක් ඇතුළත ඔහුව මුදා හරින ලෙසයි. නමුත් අද දිනයේදී ඔහුව රැඳවුම් භාරයට ගත යුතු බව ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබුණේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත ඔහුගේ අභියාචන නඩුවට සමගාමීව ය.

මේ අතර, ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය හෙට දිනයේ ආරම්භ වේ.

Exit mobile version