Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට අරගලය හැර වෙන ක්‍රියාමාර්ගයක් නෑ – ජෝසෆ් ස්ටාලින්

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට රජය නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් සිය වෘත්තීය අරගලය ඉදිරියට රැගෙන යන බව ලංකා ගුරු සංගමය පවසයි.

07වන දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා, රුපියල් 5,000සේ දීමනාව සම්බන්ධයෙන් ද පැහැදිලිතාවයක් නොමැති බව ප්‍රකාශ කළේය.

“ගුරු සහ විදුහල්පති වැටුප් විශමතා සම්බන්ධයෙන් සිදුකරන අරගලයේදී අද දවසට දින 58ක්. අද දිනයේදීත් කැබිනට් මාධ්‍ය හමුවේදී කිව්වේ රුපියල් 5,000 ගානේ දෙකක් දෙනවා කියලා. ඊළඟ එක අයවැයෙන් ලු. මේ මාසෙයි ලබන මාසෙයි 5,000 ගානේ දුන්නොත් ඊළඟ මාස දෙක දෙසැම්බර් වෙනකම් රුපියල් 5,000ත් නෑ. මුකුත් නෑ.. පඩි වැඩිවෙන්නේ ජනවාරි. මේවා සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් නෑ. රුපියල් 5,000 සම්බන්ධයෙන් චක්‍රලේඛයක්වත් නිකුත් කරලා නෑ. අපි පැහැදිලිව කියන්නේ එක දෙයයි. අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු යෝජනාව එකවර ක්‍රියාත්මක කරන්න. මේක කොටස් 4කට බෙදුවොත් එක ගුරුවරයෙකුට ලැබෙන්නේ රුපියල් 937යි. විදුහල්පතිවරයෙක් ගත්තොත් රුපියල් තුන්දහස් ගාණක් තමයි මාසෙකට හම්බවෙන්නේ. රුපියල් 100කට ආසන්න මුදලක් තමයි දිනකට හම්බවෙන්නේ. දැනට නිකුත් වෙලා තියෙන මේ කැබිනට් අනුකාරක සභා වාර්තාව ක්‍රියාත්මක කිරීමට පෙර ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා යම් යම් එකඟතාවයන් ගණනාවක් අරගෙන මේක ක්‍රියාත්මක කළ යුතුයි. අපි මේ තරම් නම්‍යශීලිවෙලත් රජය මේ ගැටලුව විසඳන්න ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්නම් අපිට මේ අරගලය හැර වෙන ක්‍රියාමාර්ගයක් නෑ. විසඳුම තියෙන්නේ ආණ්ඩුව අතේ. අපි මෙච්චර කතා කරලත් අපිට සාකච්ඡාවක් දෙන්නෙ නැත්නම් ප්‍රශ්නයකුත් නෑ.”

Exit mobile version