Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජී.එල්. හමුවීමට කාදිනල්තුමාගෙන් කොන්දේසි කිහිපයක් – ලිකිතව දන්වයි

ජී.එල්. හමුවීමට කාදිනල්තුමාගෙන් කොන්දේසි කිහිපයක් - ලිකිතව දන්වයි

ජී.එල්. හමුවීමට කාදිනල්තුමාගෙන් කොන්දේසි කිහිපයක් - ලිකිතව දන්වයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්‍ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට නම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන විනිවිදභාවයකින් සිදුවන බවට විශ්වාසයක් තමා තුළ ඇතිවිය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා යවා ඇත.

එසේ සාකච්ඡා කරන්නට තමන් විවෘත නමුත් ඒ සඳහා කොන්දේසි කිහිපයක් සම්පූර්ණ විය යුතු බවත් එම කොන්දේසි සම්පූර්ණ වන තුරු සාකච්ඡාවට නොඑන බවත් කාදිනල්තුමා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් පැහැදිලිව දැනුම් දී ඇතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන විශ්වාසනීයත්වයෙන් යුතුව සිදුවීමේ වැදගත්බවත්, එම විශ්වාසය ගොඩනැගීමට නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ විය යුතු බවත් කාදිනල්තුමා සිය ලිපියෙන් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි ද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ සඳහන් කළහ.

සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති පරිදි විමර්ශන ආරම්භ කළොත් කාදිනල්තුමන්, කතෝලික සභාව හා ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙන බවත් එය ගොඩනැගිය හැක්කේ රජයට පමණක් බවත් පියතුමෝ කීහ.

ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්‍ෂවරයා සහ පොලිස්පතිවරයා ඉකුත් දා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය තුළ ඇතුළත් යම් කරුණුවලින් විශ්වාසය ගොඩනැගීමට වඩා විශ්වාසය පලුදු වී ඇතැයි ද සිරිල් ගාමිණී පියතුමෝ සඳහන් කළහ.

ඒ නිසා සාකච්ඡාවක් කිරීමට අවශ්‍යනම් විශ්වාසය ගොඩනැගුණු පසු එය පැවැත්විය හැකි බවද කාදිනල්තුමන් අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි පියතුමෝ පැවසූහ.

Exit mobile version