Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ නව විදේශ ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා, නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව එතුමා හමුවිය. කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියාව ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගය කරන බව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා පැවසීය. ඉන්දියානු නාවික හමුදාවේ නෞකා පවා භාවිත කරමින්, නැගෙනහිර ඉන්දියානු වරායන්ගෙන් දියර ඔක්සිජන් තොග සැපයීම පිළිබඳව පීරිස් අමාත්‍යවරයා ඉන්දීය රජයට ස්තූති කළේය.

ආගමික සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික ස්ථාන සංරක්‍ෂණය කර ප්‍රවර්‍ධනය කිරීම සඳහා ඉන්දියානු රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පිරිනැමීම ද විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමාගේ ඇගයීමට ලක් වූ අතර, එම කටයුත්ත ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන බව ද පැවසීය.

අවසන් වරට 2016 දී කැඳවනු ලැබූ ඉන්දු-ලංකා ඒකාබද්ධ කොමිසම ඉක්මනින් කැඳවීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශවයම සාකච්ඡා කළහ. මෙම ඒකාබද්ධ කොමිෂන් සභාව යටතේ පවතින අධ්‍යාපනය, විද්‍යාව සහ තාක්‍ෂණය, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම සහ ආයෝජනය, ධීවර කර්මාන්තය සහ බලශක්ති අංශය යන විෂයයන් ආවරණය වන පරිදි පිහිටවන ලද ක්‍රියාකාරී කණ්ඩායම් හය හැකි ඉක්මනින් හමු විය යුතුය යන එකඟතාවයකට පැමිණෙන ලදී.

 

ධීවර කටයුතු සම්බන්ධ කරුණු පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, පවතින ගැටලුවලට අර්ථවත්, ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා දෙපාර්ශ්වයම එකඟ විය. ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු සහය ලබා දීම ද බෙහෙවින් අගය කරන ලදී.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කම්හල් පිහිටුවීම කෙරෙහි ද සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

සමීප අසල්වැසියන් ලෙස, කාලය විසින් පරීක්‍ෂා කරනු ලැබ ඇති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවල වැදගත්කම අවධාරණය කළ දෙපාර්ශ්වය, වර්තමාන සහයෝගීතාවයේ මට්ටම පිළිබඳව සතුටු වන අතරම, විවිධ අංශවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ මට්ටමක් කරා ගෙන ඒමට තීරණය කරන ලදී.

Exit mobile version