Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“මුතුරාජවෙලේ සිදුකරන්නේ විනාශකාරී ව්‍යාපෘති; මුතුරාජවෙලට අත තියන්න එන්න එපා” – මැල්කම් කාදිනල් රංජිත්

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය, ජනාධිපතිතුමා බැඳී සිටිනවා

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය, ජනාධිපතිතුමා බැඳී සිටිනවා

මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩකර එහි ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) බලාගාරයක් ඉදිකිරීමට ආණ්ඩුනේ ඇති සැලසුම නිසා දැවැන්ත පරිසර හානියක් සිදුවන බවත් එවැනි පරිසර විනාශයකට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් බොරැල්ල, අගරදගුරු නිල නිවසේදී (05) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පවසා තිබේ.

පරිසරයට හානි කරමින් සිදුකරන ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘති නොව විනාශකාරී ව්‍යාපෘති බව අවධාරණය කරන කාදිනල්තුමා මුතුරාජාවෙලට අත නොතබන්නැයි තමන් යළිත් ආණ්ඩුවට දැනුම්දෙන බවද සඳහන් කර සිටී.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සකස් කර ඇති පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව දෙස බැලීමේදී එහි මූලික නීතිමය දුර්වලතා රැසක් ඇතැයිද කොළඹ වරාය නගරය, බහුකාර්ය ප්‍රවාහන මධ්‍යසස්ථානය, සමුද්‍ර නගර ව්‍යාපෘතිය ආදිය වෙනුවෙන් විදුලිය ලබාගැනීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යන බවද තමන් ඊට විරෝධය පා මධ්‍යම පරිසර අධිකාරියට ලිපියක් යොමු කළ බවද අගරදගුරුතුමන් පවසා සිටී.

මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 100ක් මුහුදු වැලිවලින් ගොඩ කර සිදුකරන්නට යන මෙම විනාශය තුළින් සාගර පරිසර කලාපයට මෙන්ම මුතුරාජවෙල අවට ප්‍රදේශයටද දැඩි ගංවතුර තර්ජනද ඇතිවනු ඇතැයි කී කාදිනල්තුමා අවට ජනතාවට ඉදිරියේදී නිවෙස්වල බෝට්ටුවක් තබාගැනීමට සිදුවනු ඇතැයිද කියා සිටී.

මේ සම්බන්ධයෙන් සකස් කර ඇති පරිසර ඇගයීම් වාර්තාව සම්බන්ධව් මහජන අදහස් දැක්වීම සඳහා දින 30ක් ලබාදී ඇත්තේ රට තුළ සංචරණ සීමා පැවති කාලයේදී බවත් මෙය හොර රහසේම සම්මත කරගැනීමේ කූඨ උත්සාහයක් පැවති බවත් කාදිනල් හිමිපානෝ සඳහන් කරති.

මුතුරාජවෙල පරිසර කලාපය විනාශ කිරීම ආරම්භ වූයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේ අක්කර 400ක් ගොඩකිරීමෙන් බව කී කාදිනල්තුමානෝ ඉන්පසු පැමිණි විවිධ රජයන් එහි ගොඩකිරීම් සිදුකරමින් හානි කළ බවත් මේ වනවිට කැලිකසල බැහැර කිරීම ආදී විනාශයන් රැසක් එහි සිදුවන බවත් පෙන්වා දුන්හ.

මෙම මාධ්‍ය හමුව සඳහා කතෝලික පූජකවරුන් සහ පරිසරවේදීන් ඇතුළු පිරිසක් එක්වී සිටි ඇත.

Exit mobile version