Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගම්මන්පිල පමණක් නොවේ, සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි – සජිත් ප්‍රේමදාස

කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව අසරණව සිටින මොහොතක ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් එක් අයකුට ඇඟිල්ල දිගුකර ඇඟ බේරා නොගෙන එහි වගකීම භාරගෙන සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි .

තෙල් මිල ඉහළ නැංවීමට ගත් අන්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“ආණ්ඩුව විසින් ගනු ලැබූ තෙල්මිල ඉහළ නැංවීමේ තීන්දුව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත්කොට තිබේ.ඔහු පවසන්නේ තෙල්මිල වැඩිකිරීම තුලින් ජනතාව පීඩාවට පත්වන බවත්,ඒ පිළිබඳව තම පක්ෂය විරෝධය පලකරන බවත් ය.

රටේ සමස්ත ජනතාවගේ ගෙල සිරකොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගන්නට පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන තිබේ.පැරණි ව්‍යවහාරයේ පවත්නා පරිදි එකක් කඩතොලු මකාගන්නට ගොස් පොදුජන පෙරමුණේ ලේකම්වරයා කඩතොලු රැසක්ම හදාගෙන තිබේ.එමෙන්ම ආණ්ඩුව අබ්‍යන්තරයේ පැසවමින් තිබෙන බරපතල අර්බුධයක ගිනි පුපුරු අදාල නිවේදනය තුළින් පිටතට විසිවී තිබේ.

ඔහුගේ නිවේදනය මොනතරම් හාස්‍යජනක ද කිවහොත් රට පාලනය කරන්නේ තමන්ගේ පක්ෂය ද කියා හෝ ඔහු නොදන්නා ගානය.

මේ රටේ ජනතාවගේ බුද්ධියට නිගා දෙමින් නිකුත් කරනු ලබන මෙවන් නිවේදන තුළින් සිදුවන්නේ ආණ්ඩුවේ දුර්දාන්ත පිළිවෙත ජනතාව ඉදිරියේම නිරුවත් වීම විනා අන් යමක් නොවේ.

තෙල් මිල ඉහළ නැංවීමට ගත් අන්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නැති අතර අදාල ගැසට්ටුව ද ‘රිවස්’ කරන්නට ආණ්ඩුවට බලකරන ජනමතයක් දැනටමත් නිර්මාණය වී අවසන් ය.පොහොට්ටුවේ ලේකම්වරයා නිරූපණය කරනුයේ අදාල කටයුත්ත වෙනුවෙන් කසකරුවෙකුගේ භූමිකාව ය.

ආණ්ඩුව මේ වනවිටත් මහජන විශ්වාසය දියකරගෙන ඇති අතර,ආණ්ඩුවේ ප්‍රධානතම පාර්ශවකරු වන පොදුජන පෙරමුණට පවා තමන් ආණ්ඩුකරන බව නොතේරී තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් තුන්බියට හසුවූ විශාලාවක් බවට මේ රට පත්කොට ඇති අතර මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ රට නැවත ගොඩ නැගීමට හැකි කණ්ඩායමකට රට භාර දී ඉල්ලා අස්වීමය.

Exit mobile version