Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ සාරා ඉන්දියාවට පලා ගිය ආකාරය පිළිබඳ තවත් හෙළිදරව්වක්

පාස්කු බෝම්බකරුගේ බිරිඳ ගැන තවත් හෙළිදරව්වක්

පාස්කු බෝම්බකරුගේ බිරිඳ ගැන තවත් හෙළිදරව්වක්

මීගමුව කටුවාපිටිය දේවස්ථානයට පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිද වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නැමැත්තිය මියගිය බවට මෙතෙක් තහවුරු නොමැති බව අද අනාවරණ වුණා. ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදියි.

කොමිසම හමුවේ සාක්ෂි දුන් අම්පාර පොලිස් කොට්ඨාශය භාරව එවකට රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර සඳහන් කළේ සයින්දමර්දු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගත් නිවසේ අවසන් මොහොත දක්වා සාරා ජෙස්මින් නැමැත්තිය සිටි බවට විමර්ශන ඔස්සේ අනාවරණය වූ බවයි. එහෙත් පිපිරීමෙන් පසු හමුවු කිසිදු මළසිරුරක් ඇයගේ මවගේ DNA සාම්පල් සමග නොගැලපෙන බවයි එහිදී ප්‍රකාශ වුණේ.

අදාළ නිවසේ කාමරයක තිබි මුදල් පසුම්බියක් හමුවු අතර එය පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ට අයත්වුවක් බව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු කියා සිටියා. සයින්දමර්දු පිපිරීම සම්බන්ධයෙන් මුළ සිට විමර්ශන කළ තමන්ව 2019 ජුලි 24 වන දින හදිස්සියේම ස්ථාන මාරු කිරීම හරහා තමන් එතෙක් කරගෙන ආ විමර්ශන වලට බාධා එල්ල වු බවයි සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පවසා ඇත්තේ.

තමන්ගෙන් පසු අම්පාර කොට්ඨාසය භාරව පත්වු පොලිස් නිලධාරියාද මෙම අන්තවාදි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් කටයුතු කළද ඔහුද මාස 06කින් ස්ථාන මාරු කර ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙම ස්ථාන මාරුවීම් දේශපාලන බලපෑම් මත සිදුවූවා දැයි සැක මතු වන බවද ඔහු පවසා තිබෙනවා. තමන් ඇතුළු කණ්ඩායම මෙම ත්‍රස්තවාදීන් හා සම්බන්ධ බොහෝ අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළද, හදිස්සියේ ලද ස්ථාන මාරුව හරහා සියළුම ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වු බව එවකට රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර වැඩිදුරටත් පැවසුවා.

ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරියෙකු වන ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන් මාහීල්කන්ද ද ඊයේ දිනයේදී සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔහු සාරා ජැස්මින් ඇසින් දුටුවෙකු ගේ සාක්ෂියක් සම්බන්ධයෙන් කරුණු හෙළි කරනු ලැබුවා.

එහිදී එම විමර්ශන නිලධාරියා කියා සිටියේ මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තේතාතිව් ප්‍රදේශයේදී අළුයම 3.15 ට පමණ තමන් සාරා ජැස්මින් ඇතුළු තවත් දෙදෙනෙකු අතුරු මාර්ගයකින් පැමිණ බටර් පැහැති කැබ් රථයකට ගොඩ වෙන අයුරු දුටු බවයි.

වැඩිදුරටත් නිරීක්ෂනය කිරීමේදී එම රථයේ රියදුරු අසුනට යාබද අසුනේ මිට සතියකට ඉහතදී කොළඹ අපරාධ කොට්ඨාෂය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එවකට කලවන්චිකුඩි පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්තානාධිපතිව සිටි අබු බකර් නම් නිලධාරියා සිටිය බව තමන් දුටු බව ඔහු කියා සිටිය බවයි ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහීල්කන්ද මෙහිදී කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ.

ඇතිවූ සැකය මත සිය වාහනයෙන් බැස තමන් හඳුනන අදාළ පොලිස් නිලධාරියාට කතා කිරිමට සුදානම් වනවාත් සමගම ඔවුන් සිටි රථය වේගයෙන් මඩකලපුව දෙසට ඇදී ගිය බවද ඇසින් දුටු සාක්ෂිකරු මෙහිදී කියා සිටිය බව කොමිසම හමුවේ අනාවරණය කෙරුණා.

මේ අතර සාරා ජැස්මින් හට ඉන්දියාවට පළා යෑමට උපකාර කළ පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරැ තමන් වෙත ලැබී ඇති බව මෙහිදී විමර්ශන නිලධාරියා කියා සිටියා.

සාරා ජැස්මින්ගේ මවගේ නැගණියගේ ස්වාමි පුරුෂයා සහ ඔහුගේ සහෝදරයා මෙලෙස ඒ සඳහා උපකාර කළ බවට තොරතුරු හෙළිව ඇති බවයි මෙහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන් මාහීල්කන්ද කොමිසම හමුවේ කියා සිටියේ.

-newswire-

Exit mobile version