තායිලන්තයේ අනවසර යූද සුසාන භූමි අර්බුදය හමුවේ අගමැතිගෙන් විදේශිකයන්ට දැඩි අනතුරු ඇඟවීමක්

0

තායිලන්තයේ නීති උල්ලංඝනය කරන හෝ පෞද්ගලික සුසාන භූමි පිහිටුවීමට උත්සාහ කරන විදේශිකයන් වෙත අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරකුල් (Anutin Charnvirakul) මහතා බ්‍රහස්පතින්දා දැඩි අවවාදයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ඔවුන් “මෙහෙ නොව, තමන්ගේ රටට ගොස් මිය යා යුතු” බවයි. මෙම ප්‍රකාශය ප්‍රධාන වශයෙන් ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරගනිමින් සිදුකර ඇති බව පෙනේ.
​බැංකොක් නුවර ආසන්නයේ පිහිටි බලපත්‍ර නොමැති යූද (Jewish) සුසාන භූමියකින් මෘත ශරීර ඉවත් කිරීමට මෑතකදී බලධාරීන් පියවර ගැනීමත් සමඟ ඔහුගේ මෙම ප්‍රකාශය නිකුත් වී ඇත.
​මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය අනුටින්, නිසි අනුමැතියකින් තොරව පෞද්ගලික සුසාන භූමි සහ ආගමික ස්ථාන පිහිටුවීමට කෙරෙන ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කළේය.
​”තමන්ට හිතුමනාපෙට ආගමික ස්ථාන පිහිටුවන්න කාටවත් බෑ. එය කිනම් ස්වරූපයකින් සිදු කළත් තායි සමාජයට සහ සංස්කෘතියට ගරු කළ යුතුයි. පෞද්ගලික සුසාන භූමියක් ඉදිකිරීමටත් ඉල්ලීමක් තිබෙන බව මට මෑතකදී දැනගන්න ලැබුණා. එය සීමාව ඉක්මවා යාමක්,” යනුවෙන් ඔහු පැවසීය.
​”ඔවුන්ට මෙහෙට එන්න ඉඩ ලැබීමම ලොකු දෙයක්. එසේ එනවා නම් ඔවුන් සාධාරණ ලෙස රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරගත යුතුයි. මිය යනවා නම් මෙහෙ නොව තමන්ගේ රටට ගොස් මිය යා යුතුයි. තවද මෙහෙ ඇවිත් ජනතාවගෙන් අනිසි ප්‍රයෝජන ගැනීමට හදන්න එපා.”
​චාචොඑංසාඕ (Chachoengsao) පළාතේ බං ක්ලා (Bang Khla) දිස්ත්‍රික්කයේ පිහිටි යූද සුසාන භූමිය ඉවත් කිරීමට තායි බලධාරීන් නියෝග කිරීමෙන් දින කිහිපයකට පසුව අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය පැමිණියේය.
​බැංකොක්හි යූද ප්‍රජාව සහ චබාඩ් (Chabad) සංවිධානය විසින් වසර පහකට පමණ පෙර මිලදී ගත් මෙම ඉඩමේ භූමදාන බලපත්‍රය 2023 දී අවසන් වී තිබූ අතර එය යාවත්කාලීන කර නොතිබුණි.
​එහි භූමදානය කර තිබූ මෘත ශරීර හතරක් (ඊශ්‍රායල ජාතිකයන් තිදෙනෙකු සහ එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු) සොයාගෙන ඇති අතර, ඉන් බහුතරයක් භූමදාන කර ඇත්තේ බලපත්‍රය කල්ඉකුත් වූ පසුව නිසි දැනුම්දීමකින් තොරවය.
​මියගිය අයගෙන් දෙදෙනෙකු වීසා කාලසීමාව ඉක්මවා තායිලන්තයේ රැඳී සිටි අය වේ.
​සැප්තැම්බර් 15 වන දින, එම මෘත ශරීර හතරම ගොඩගෙන යූද නීතියට අනුකූලව බලපත්‍ර සහිත නව සුසාන භූමියක් වෙත රැගෙන යන ලදී.
​ඊශ්‍රායලයේ ZAKA ස්වේච්ඡා සංවිධානය, ප්‍රදේශයේ චබාඩ් රබ්බිවරුන් සහ ප්‍රධාන රබ්බි යෝසෙෆ් චයිම් කැන්ටර් (Yosef Chaim Kantor) ඇතුළු ප්‍රජා සාමාජිකයන් විසින් මෙම කටයුතු සිදුකරන ලදී.
​”ඉඩම මිලදී ගෙන වසර පහකට පමණ පසු, මහත් කණගාටුවෙන් හා වේදනාවෙන් යුතුව මෙම මෘත ශරීර හතර එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙන යාමට සිදුවුණා,” යැයි පැවසූ කැන්ටර් මහතා, තායිලන්තයේ සිටින ඊශ්‍රායල ජාතිකයන් සම්බන්ධ කරුණුවලදී පවතින උණුසුම් තත්ත්වය සහ දැඩි නිරීක්ෂණය හමුවේ මෙය සිදු වූ බව පෙන්වා දුන්නේය.
​සුසාන භූමිය ඉවත් කිරීමෙන් පසුව සහ ෆුකෙට් (Phuket) හි පිහිටි චබාඩ් මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් සිදුවන වෙනත් පරීක්ෂණයක් අතරතුර අගමැති අනුටින් කළ මෙම ප්‍රකාශය පිළිබඳව හීබෲ (Hebrew) මාධ්‍ය දැඩි අවධානයක් යොමුකර තිබුණි.
​කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සිය ප්‍රකාශය කිසිදු නිශ්චිත ජාතිකත්වයකට පමණක් එල්ල වූවක් නොවන බවත්, ආසියාව, මැදපෙරදිග, යුරෝපය සහ අප්‍රිකාව යන කලාපවල පුද්ගලයන් සම්බන්ධ සිදුවීම් පවතින බවත්ය. තමන්ගේ රට නීතිගරුක සංචාරකයන්ට සහ ආයෝජකයන්ට සැමවිටම විවෘත බව ඔහු අවධාරණය කළේය.
​නීතිය තදින්ම බලාත්මක කරන ලෙසත්, වැරදිකරුවන් වන විදේශිකයන් වහාම පිටුවහල් කරන ලෙසත්, තායි ජාතිකයන්ට ඇතුළුවීම තහනම් කරමින් සවි කර ඇති පුවරු ඇත්නම් ඒවා ඉවත් කරන ලෙසත් අනුටින් මහතා ප්‍රාදේශීය ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන්නේය.
​එමෙන්ම ආපනශාලා බලපත්‍ර යටතේ ආගමික ස්ථාන පවත්වාගෙන යාමට දරන උත්සාහයන් ද ඔහු දැඩි ලෙස විවේචනය කළේය.
​ඊශ්‍රායල සංචාරකයන්ට එරෙහිව පසුගියදා පැවැති විරෝධතා, වීසා කාලසීමාවන් සීමා කිරීම සහ විදේශිකයන්ට සම්බන්ධ ඉඩම් හා ව්‍යාපාර පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ ද මෙම තත්ත්වයට පසුබිම් වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *