එල්නිනෝ බලපෑමෙන් මොණරාගලට ජල හිඟයක්
එල්නිනෝ තත්ත්වය හමුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ නළ ළිං අලුත් වැඩියා කිරීම ඇරඹෙයි
පවතින එල්නිනෝ තත්වය හමුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට පානීය ජල හිඟයක් ඇතිවීමත් සමග මොණරාගල දිස්ත්‍රික්කයේ පුරාවට ඇති හඳුනාගත් නළළිං අලුත් වැඩියා කිරීමේ කටයුතු ඊයේ (29)දින ආරම්භ කෙරුණි.
ඒ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී භාවිතය අතහැර දැමූ හඳුනාගත් නළළිං 267ක් පිරිපහදු කරමින් ජලය පරීක්ෂා කොට ජනතාවට පරිභෝජනයට ලබාදීමට නියමිතයි.
මෙහි ප්‍රථම අදියර ලෙස මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාගන්දන මුල්ල රත්තනපිටිය ප්‍රදේශයෙන් සහ වැලියාය කොට්ඨාශයට අයත් වැලියාය ග්‍රාම නිලධාරී වසමෙන් ආරම්භ කලේය.
නිවාස හා ජල සම්පත් අමාත්‍යාංශය ප්‍රතිපාදන යටතේ ජල සම්පාදන මණ්ඩලයේ භූගත ජල අංශය මගින් මෙම නළළිංවල නඩත්තු කටයුතු සිදු කරනු ලබන අතර මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය සහ මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආපදා සහන සේවා අංශය සහ මොණරාගල ප්‍රාදේශීය සභාව ඒකාබද්ධව කටයුතු කරනු ලබයි.
මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 8කට අයත් ග්‍රාම වසම් 75ක පවුල් 15000 කට අයත් පුද්ගලයින් පනස් දාහකට වැඩි පිරිසකට මෙම නියඟයෙන් බලපෑම් එල්ල වී තිබේ.
වැඩිම වලපෑම් එල්ල වී ඇත්තේ මොණරාගල මැදගම සහ සියබලාණ්ඩුව යන ප්‍රාදේශීලේකම් කොට්ඨාශවලටයි.
මෙම ප්‍රදේශවල පානීය ජලය හිඟයට පිළියමක් ලෙස ආපදා සහන සේවා අංශයන් මගින් සහ ප්‍රාදේශීය සභාවන් මගින් බවුසර් 39 ක් යොදා ගනිමින් ජලය බෙදා හැරීමේ කටයුතු සිදු කරනු ලබයි.
