අම්බලන්ගොඩ පොලීසියේ පහරදීමේ සිදුවීම: උප පොලිස් පරීක්ෂකවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවක්

0
අම්බලන්ගොඩ පොලීසියේ සිදුවීමට අදාළව SI කෙනෙක්ට ලැබුණු ස්ථානමාරුව

අම්බලන්ගොඩ පොලීසියේ සිදුවීමට අදාළව SI කෙනෙක්ට ලැබුණු ස්ථානමාරුව

අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සැකකරුවෙකුට පහරදීමක් සිදු කර ඇතැයි කියන සිදුවීමට අදාළව, එම සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (26) අම්බලන්ගොඩ පොලීසියෙන් ස්ථානමාරු කර යවා තිබේ.

පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම සිදුවීමට අදාළව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ එම විමර්ශන ක්‍රියාත්මක වන බව පොලීසිය සඳහන් කලේය.

ඒ අනුව අම්බලන්ගොඩ පොලිස් ස්ථානය අයත් ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පරිබාහිරව කටයුතු කරන උසස් පොලිස් නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් අදාළ විමර්ශන කටයුතු සිදු වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දර්ශනවල දැක්වෙන්නේ, අත්අඩංගුවට පත් තම පියාට පොලීසිය තුළදී පහර දී ඇති බවට ප්‍රකාශ කරමින් පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන ආකාරයයි.

මෙම සිදුවීමට අදාළව පොලීසිය සඳහන් කරන්නේ, එම දර්ශනවල පියා ලෙස හඳුන්වන පුද්ගලයා පසුගිය 24 වනදා රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස මාර්ගයක සැරිසරමින් සිටීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පුද්ගලයා පලායාමය තැත් කිරීම හේතුවෙන් බිම ඇද වැටී තුවාල වීමෙන් රුධිරය වහනය වී ඇති බවද පොලීසිය සඳහන් කළා.

එම රුධිරය වහනය වීම සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අදාළ වීඩියෝව තුළද දැකගත හැකි බවද පොලීසිය පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා ඊයේ (25) අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව වාර්තා විය.

අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු ඇප මත මුදා හැරීමට නියම කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධව සිදු කෙරෙමින් පවතින විශේෂ විමර්ශනයේ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *