ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ සහ පානදුර නිලංග රක්ෂිත බන්ධනාගාරයට: CIDය අධිකරණයට කරුණු දක්වයි
රැඳවුම් භාරයේ සිටි කෙහෙල්බද්දර පද්මේ ලබන 03 වනදා දක්වා රිමාන්ඩ්
ඉන්දුනිසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා ලබන 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබිමට අධිකරණය නියම කර තිබේ.
සැකකරු දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු රැසක් අනාවරණය කලේය.
“ස්වාමිණි. සැකකරු භාරයේ තිබී ජංගම දුරකතන 08ක් සොයාගත්තා. ඒවායෙහි දත්ත මක දමා තිබුණා,
පසුව එම දත්ත ප්‍රතිඋත්පාදනය කරගත්තා. ඒවායෙහි ඇමතුම් 8841ක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත්තා.
ඡායාරූප තුන්ලක්ෂ විසිහයදහස් හයසිය හැත්තෑ එකක් සොයාගත්තා. දුරකතන පටිගත කිරිම් 1101ක් හා වීඩියෝ දර්ශන 5039ක් හමුවුණා.
ස්වාමිණි. මේ ජංගම දුරකතන දත්ත විශ්ලේෂණය කිරිමේ දී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වුණා.
ඔහුගේ දුරකතනවල තිබි බන්ධනාගාර නිලධාරින් 13 දෙනෙකුගේ දුරකතන අංක හමුවුණා. නිළියන් සහ නිරූපණ ශිල්පිනියන් 07 දෙනෙකු පිළිබද තොරතුරු සොයාගත්තා. දේශපාලනඥයන් 09 දෙනෙකු පිළිබද ඡායාරූප සහ දුරකතන සංවාද හමුවි තිබෙනවා.
ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා. බැංකු ගිණුම් 17ක් ගැන විමර්ශන ක්‍රියාත්මකයි. මොහු රටවල් 13ක ස්ථාන 15කට පමණ ගොස් තිබෙනවා. මෑතකදී ගිනිඅවි සොයාගැනිම සම්බන්ධයෙන්ද මෙම සැකකරු ගැන විමර්ශන කරනවා.”
සැකකරු වෙනුවෙන් පෙනිසිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා කියා සිටියේ සැකකරුගේ විරුද්ධවාදීන් වැලිසර බන්ධනාගාරයේ සිටින බැවින් වැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක තම සේවාදායකයා රදවා තැබිමට ක්‍රියා කරන ලෙසයි.
ඉදිරිපත් වු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළා.
මේ අතර ඉන්දුනිසායාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන විමර්ශන සිදුකරන නිලංග සම්පත් සිල්වා නොහොත් පානදුර නිලංග නැමැත්තාද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඔහුද ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසටයි නියෝග කර ඇත්තේ.
