ඉතිහාසයේ ප්‍රබලතම ‘එල් නිනෝ’ තත්ත්වය ඉදිරියට: සාගර ජීවීන් සහ මුහුදු මට්ටම කෙරෙහි දැඩි බලපෑම්
ලෝක සාගර උෂ්ණත්වය ඉතිහාසයේ ඉහළම අගයට; ප්‍රබල එල් නිනෝ අනතුරක පෙරනිමිති
මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස සහ වර්ධනය වෙමින් පවතින ‘එල් නිනෝ’ කාලගුණික තත්ත්වය හේතුවෙන් ලොව සාගර උෂ්ණත්වය මෙතෙක් වාර්තා වූ ඉහළම අගයට පත්ව ඇති බව නවතම දත්ත පෙන්වා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපයේ Copernicus දේශගුණික විපර්යාස පිළිබඳ සේවය පෙන්වා දෙන පරිදි ධ්‍රැවීය කලාපවලින් පිටත ලෝකයේ සාගරවල මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය සෙනසුරාදා දිනයේදී සෙල්සියස් අංශක 21.1 (ෆැරන්හයිට් 70)ක් ලෙස සටහන් වී තිබේ.
මෙය 2024 මාර්තු මාසයේ දින තුනකදී වාර්තා වූ සෙල්සියස් අංශක 21.09ක අගය අභිබවා යාමක් වන අතර වසරේ මෙම කාලසීමාව සඳහා පැවතිය යුතු සාමාන්‍ය අගයට වඩා බෙහෙවින් ඉහළ අගයක් ලෙස සැලකේ.
මෙලෙස සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ආන්තික කාලගුණික තත්ත්වයන් උග්‍ර වීම, මුහුදු මට්ටම ඉහළ යාම සහ සමුද්‍රීය ජීවීන්ට හානි සිදුවීම වැනි පුළුල් බලපෑම් රැසක් ඇති විය හැකියි.
“මෙම වාර්තාව සාගරය කෙතරම් පීඩනයකට ලක්ව ඇත්ද යන්න පෙන්වන පැහැදිලි සංඥාවක්” බව කොපර්නිකස් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය සමන්තා බර්ජස් පවසයි.
විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ලෝකයේ සාගර උෂ්ණත්වය සාමාන්‍යයෙන් ඉහළම අගයක් ගන්නේ දක්ෂිණ අර්ධගෝලයේ ග්‍රීෂ්ම ඍතුව අවසන් වන මාර්තු හෝ අප්‍රේල් මාසවලදී මිස අගෝස්තු මාසයේදී නොවන බැවින් වර්තමාන තත්ත්වය විශේෂ අවධානයට ලක්විය යුත්තක් බවයි.
එල් නිනෝ තත්ත්වය ඉදිරි නත්තල් සමය දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය සියවස් ගණනාවකින් පසු ඇති වූ ප්‍රබලතම එල් නිනෝ තත්ත්වය විය හැකි බවටද අනතුරු අඟවා තිබේ.
