මහ බැංකුවේ සහ FCIDයේ නමින් සිදුවන මහා පරිමාණ මූල්‍ය වංචාවක් ගැන Sri Lanka CERT වෙතින් හෙළිදරව්වක්
මහ බැංකුව හා පොලිසිය ලෙස පෙනී සිටිමින් මුදල් කොල්ලකන ජාවාරමක්
ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) වැනි ආයතනවල නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් සහ එම ආයතනවල ලිපි ශීර්ෂ යොදාගනිමින් සිදු කෙරෙන වංචාවක් පිළිබද පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT)වෙත ලැබී ඇතැයි සදහන් කෙරේ.
මෙම වංචාවන් සිදු කරනු ලබන පුද්ගලයන් පලමුව ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් ජංගම සහ ස්ථිර තැන්පතුවල පවතින මුදල් පිළිබදව විමසති. වංචාවට හසුවූ පුද්ගලයන් සතු මුදල් තැන්පතු පිළිබදව පූර්ව දැනුවත්කමක් ඇති බව පවසන මෙම වංචනිකයන් එලෙස තැන්පතුවල පවතින මුදල් වංචා සහගත ලෙස උපයාගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති බැවින් මූල්‍ය අපරාධ විමර්ශන අංශය හරහා පරීක්ෂා කර බැලිය යුතුව ඇති බවට තර්ජනය කරති.
ඉන්පසු එම වංචනිකයන් ව්‍යාජ ලෙස සැකසූ මහ බැංකු ලිපි ශීර්ෂ සහ නිලධාරීන්ගේ අත්සන් හා රබර් මුද්‍රා යෙදූ ලිපි යොමු කර තවදුරටත් පුද්ගලයන්ව බියට පත් කරති. අනතුරුව වෙනත් පුද්ගලික බැංකුවකට එම මුදල් බැර කරන ලෙසට උපදෙස් ලැබෙන අතර ඒ සදහා වෙනම ගිණුමක් ද ලබාදෙනු ලැබේ.
එම ගිණුම මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙකුගේ යැයි පවසන අතර මුලින්ම තමන් සතු තැන්පතුවලින් හරි අඩක් එලෙස ලබාදෙන බැංකු ගිණුමට බැර කරන ලෙස දැනුම් දෙයි. එසේ මුදල් තැන්පතු කිරීම තහවරු කෙරෙන බැංකු පත්‍රිකාව සහ පරීක්ෂාවෙන් පසු නැවත තමන් සතු පැරණි බැංකු ගිණුමට එම මුදල මාරු කරන ලෙස පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා සිටින ලිපියක් ද ලබාදෙන ලෙස වංචාවට ගොදුරු වූ අයට දැනුම් දී ඇත.
මෙම වංචාව සිදුකරනු ලබන පුද්ගලයන් ඉතා සූක්ෂ්මව මෙය සිදු කරන අතර ඔවුන් සතුව පොලිස් නිල ඇදුම්, බැංකු හැදුනුම්පත් මෙන්ම රබර් මුද්‍රාද පවතී.
මෙම සූක්ෂ්ම වංචාව පිළිබදව දැඩි අවධානයෙන් පසු වන ලෙසත් විශ්‍රාමිකයන් ඇතුළු වැඩිහිටියන් ඊට බිලි වීමට වැඩි ඉඩ කඩක් පවතින නිසා ඔවුන්ව මේ සම්බන්ධව දැනුම්වත් කරන ලෙසත් ශ්‍රී ලංකා CERT ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.
