ඩුබායි සිට පිටුවහල් කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ශිරාන් බාසික් දින 90කට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ශිරාන් බාසික් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී ඇති ශිරාන් බාසික් නමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබේ.
ඩුබායිහිදී පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන පසුව පිටුවහල් කළ සැකකරු පසුගිය 14 වැනිදා මෙරටට රැගෙනවිත් තිබේ. කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ ඩුබායිහි සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිටියදී එරට පොලීසිය තමන්ව පරීක්ෂා කළ බවයි. එම අවස්ථාවේදී ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඉරානය විසින් ඩුබායි වෙත එල්ල කළ බව කියන ප්‍රහාරවල දර්ශන හමුවීමෙන් අනතුරුව තමන් අත්අඩංගුවට ගත් බවද ඔහු සඳහන් කර තිබේ.
තමන් මෙරටට පිටුවහල් කරන තෙක් ඩුබායි පොලිස් නිලධාරීන් ඉරානය සමඟ පැවති සබඳතා සම්බන්ධයෙන් දිනපතා ප්‍රශ්න කළ බවද සැකකරු පවසා ඇති බව සඳහන් වේ.
පසුව ශ්‍රී ලංකාව බලා පැමිණීම සඳහා ගුවන් ටිකට්පතක් මිලදී ගන්නා ලෙස ඩුබායි බලධාරීන් දැනුම් දුන් බවත්, අනතුරුව තමන් මෙරටට පිටුවහල් කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පැවති නඩුවකට අදාළව ශ්‍රී ලංකා පොලීසිය විසින් ලබාගෙන තිබූ රතු නිවේදනය ඉවත් වී තිබූ අතර, යළි රතු නිවේදනයක් ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේදී සැකකරු මෙරටදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
සැකකරු 2018 වසරේ ජුනි 02 වැනිදා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර, එහිදී අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් මහා පරිමාණ ව්‍යාපාර දෙකක්ද පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
