රතු වරෙන්තු ලැබූ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් ඩුබායි සිට මෙරටට: පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් ඇරඹෙයි

0
ශිරාන් බාසික්ට පැය 72ක රැඳවුම් නියෝග

ශිරාන් බාසික්ට පැය 72ක රැඳවුම් නියෝග

ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය සැපයු ප්‍රධානතම ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් කෙනෙකු ලෙස සැලකෙන ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තු නිකුත් කර සිටි මොහොමඩ් ශිරාන් බාසික් ඊයේ (14) රාත්‍රීයේ මෙරටට රැගෙනවිත් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරු මේ වන විට පැය 72ක රැඳවුම් නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇති බවයි.

ශිරාන් බාසික් නැමැත්තා මෙරට දී සිදුකළ සංවිධානාත්මක අපරාධ, ගිනිඅවි ළග තබා ගැනීම් සහ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සෙසු පිරිස් සොයා ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

ඩුබායි රාජ්‍යයේ ධනවතෙකු ලෙස පෙනී සිටිමින් වසර ගණනාවක් පුරා මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවු 48 හැවිරිදි මොහු පසුගිය මැයි 26 වනදා ඩුබායි ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් ඩුබායි හි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 226 දරණ ගුවන් යානයෙනුයි ඔහු මෙරටට රැගෙන එනු ලැබුවේ.

ඔහු රැගෙන ආ අවස්ථාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට දැඩි ආරක්ෂාවක් සපයා තිබු අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ,හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සහ බෙදා හැරීම, නීති විරෝධි වත්කම් ඉපැයීම, ගිනි අවි සන්තයේ තබා ගැනීම, බරපතළ හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධි රැස්වීමක සාමාජිකයෙකු වීම සහ හානියක් සිදුකිරීම ඔහුට එරෙහි චෝදනායි.

ශිරාන් බාසික් දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු දෙහිවල, මාවනැල්ල, කොළඹ හා කොළඹ දකුණ ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරිමේ ජාලයන් පුළුල් ලෙස ව්‍යාප්ත කර තිබේ.

වෙලේ සුදා නැමැත්තා අත්අඩංගුවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයේ දෙවන ප්‍රබලතම ජාවාරම්කරු ලෙසයි ශිරාන් බාසික් හැඳින්වෙන්නේ.

ඔහු 2011 වසරේ දී කිරුළපන ප්‍රදේශයේ දී හෙරොයින් සමග ආරක්ෂක අංශවලට කොටු වු අතර,

එම නඩුව වසර ගණනාවක් කොළඹ මහාධිකරණයේ විභාග වු අතර පොලිස් නිලධාරීන් ඉදිරිපත් කළ සාක්ෂිවල පැවති බරපතළ පරස්පරතා හේතුවෙන් 2024 මාර්තු මාසයේ දී ඔහුව එම නඩුවෙන් නිදහස් කිරීමට අධිකරණය තීන්දු කලේය.

ඔහුට එරෙහි මෙරට ආරක්ෂක අංශ විමර්ෂණ දැඩි කරද්දී 2018 වසරේ දී ඔහු නීති විරෝධි ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයට පලා ගොස් තිබේ.

අතීතයේ සිටම ඔහු ඉරාන මත්ද්‍රව්‍ය ජාලයන් සමග සෘජු සම්බන්ධතා පවත්වමින් මුහුදු මාර්ගයෙන් ලංකාවට කුඩු ගෙන්වීමට කටයුතු කර තිබේ.

ඔහු මේ වන විට ලංකාවට රැගෙන විත් ඇති අතර ඔහු පිළිබදව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.

මේ අතර පසුගිය 23 වනදා වත්තල ප්‍රදේශයේ පදිංචි උපන්දින සාදයකට කඩා වැදි වෙඩි තැබිමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා.

ගුවන් තොටුපළේ සිට සැකකරුවන් දැඩි ආරක්ෂාවක් යටතේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශයට රැගෙන ගියා.

විදෙස් රටවල සැඟවී සිටින මෙරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *