පාවෙන ගිනිඅවි ගබඩා ආදායමෙන් 80%ක් ඇවන්ගාඩ් එකට: COPE අනුකාරක සභාවේදී තොරතුරු එළියට

0
පාවෙන ගිනිඅවි ගබඩාවලින් ඇවන්ගාඩ් සමාගම මසකට ඩොලර් ලක්ෂ 3ක්; ගිනිඅවි 13ක් අතුරුදහන්

පාවෙන ගිනිඅවි ගබඩාවලින් ඇවන්ගාඩ් සමාගම මසකට ඩොලර් ලක්ෂ 3ක්; ගිනිඅවි 13ක් අතුරුදහන්

පාවෙන ගිනිඅවි ගබඩා මෙහෙයුම් හරහා උපයන ආදායමෙන් මසකට ඇමෙරිකානු ඩොලර් 320,000 කට ආසන්න මුදලක් වසර කිහිපයක් තිස්සේ ඇවන්ගාඩ් සමාගම විසින් ලබාගෙන ඇති බව පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (COPE) අනුකාරක සභා විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

රජයට හිමිවිය යුතුව තිබූ මෙම ආදායම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූයේ රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් (RALL) ආයතනය සහ ඇවන්ගාඩ් සමාගම අතර පවතින දීර්ඝකාලීන හවුල් ව්‍යාපාර ගිවිසුම පිළිබඳව පරීක්ෂා කිරීමට එම ආයතනයේ නිලධාරීන් කෝප් අනුකාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අදහස් දැක්වූ රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් හි සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා මුහුදු තීරය හරහා ගමන් කරන නැව්වල ඇති ගිනිඅවි අන්තර්ජාතික රෙගුලාසි නිසා ගොඩබිමට ගෙන ඒමට නොහැකි බැවින්, ගාල්ල වරායෙන් බාගෙන පාවෙන ගිනිඅවි ගබඩාවල තැන්පත් කිරීම සිදුකරන බවයි.

එහිදී ගිනිඅවි තුනක් ගබඩා කිරීම සහ නැවත ලබාදීම සඳහා ඩොලර් 3,600ක (එක් වරකට ඩොලර් 1,800 බැගින්) මුදලක් අය කෙරේ.

මෙම මෙහෙයුමෙන් මසකට ඩොලර් 400,000 ක පමණ ආදායමක් ලැබුණද, හවුල් ව්‍යාපාර ගිවිසුම යටතේ ඉන් 80% ක්ම පෞද්ගලික සමාගම වෙත වෙන්වන අතර, ඉතිරි 20% පමණක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රක්නා ලංකා සමාගම අතර බෙදී යන බවද සභාපතිවරයා පැවසීය.

2027 දක්වා වලංගු වන මෙම ගිවිසුම වෙනස් කිරීමට හෝ අත්හිටුවීමට නීතිමය බාධා පවතින බවද ඔහු සඳහන් කලේය

මේ අතර, 2009 වසරේදී ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව රක්නා ලංකා ආයතනයේ නීති ප්‍රධානී හිමාෂා මුණසිංහ මහත්මිය කාරක සභාව හමුවේ ප්‍රකාශ කළා.

එමෙන්ම, රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් භාරයේ ඇති ගිනිඅවි 219 න් 139 ක්ම මෙරටට ගෙනවිත් නොමැති අතර ඒවා ඕමානය, දකුණු අප්‍රිකාව, ටැන්සානියාව, රතු මුහුද කලාපය, මොරිෂස්, පෝලන්තය සහ ප්‍රංශය යන රටවල ගබඩා කර ඇති බව නිලධාරීන් පැවසුවා.

එම ගිනිඅවි නැවත මෙරටට ගෙන ඒමේ අවසාන වගකීම භාර ගැනීමට මෙතෙක් කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වී නොමැති අතර, තවත් ගිනිඅවි 13 ක වත්මන් තොරතුරු සොයාගැනීමට නොහැකි වී ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

මීට අමතරව, ගිවිසුම යටතේ ඇවන්ගාඩ් සමාගම විසින් රක්නා ලංකා ආයතනය වෙත ගෙවිය යුතු 5% ක මුදල නිතර ප්‍රමාද වන අතර, දැනට රුපියල් මිලියන 3.5 කට ආසන්න හිඟ මුදලක් ගෙවීමට ඇති බවද ප්‍රධාන සාගරික ආරක්ෂක නිලධාරී, විශ්‍රාමික කොමදෝරු ඩී.එල්.එස්.එම්. ඩයස් මහතා කාරක සභාව හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com