Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා නිර්දේශිත නම් අතරට දිමුත් කරුණාරත්න

Dimuth

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන ප්‍රදානෝත්සවයට අදාළව වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඇතුළත් වෙයි.

ICCය විසින් මේ සඳහා නිර්දේශ නම් ඊයේ නිවේදනය කළ අතර, ඒ අනුව දිමුත් කරුණාරත්න සමඟ සිවුදෙනකු වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස නිර්දේශ කර තිබේ.

එංගලන්ත නායක ජෝ රූට්, ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන් ද වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ කර ඇත.

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට මේ මස 31 වැනිදා දක්වා කාලය තුළ අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටියේ දක්වන දස්කම් සැලකිල්ලට ගනිමින් මේ සම්මානය පිරිනැමේ.

දිමුත් කරුණාරත්න මේ වසර තුළ තරග 7ක් ක්‍රීඩා කරමින් ලකුණු 902ක් රැස් කර ඇත්තේ 69.38ක ලකුණු සාමාන්‍යයක්ද සමඟිනි. ශතක 4ක් ද ඊට ඇතුළත් කර ගත් දිමුත් මේ වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා ද වෙයි.

ජෝ රූට් තරග 15කදී ශතක 6ක් සමඟ ලකුණු 1708ක් රැස් කරමින් දස්කම් දක්වා ඇති අතර, රවිචන්ද්‍රන් අශ්වින් තරග 8කදී කඩුලු 52ක් බිඳ දමා තිබේ. කයිල් ජමීසන් මේ අතරට එක්ව ඇත්තේ තරග 5කදී කඩුලු 27ක් දවා ගැනීම හේතුවෙනි.

මේ වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ද ඇතුළුව කාණ්ඩ 13ක් යටතේ තනි සම්මාන පිරිනැමීමට නියමිත අතර, ඒ එක් එක් කාණ්ඩයට අදාළ ජයග්‍රාහකයන් ලබන ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කෙරේ. ඒ අනුව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ තනි සම්මාන ජනවාරි 23 දින ප්‍රකාශයට පත් කරන අතර, පිරිමි අංශයෙන් සම්මාන දිනාගත් ක්‍රීඩකයන්ගේ නම් ජනවාරි 24 වැනි දින ප්‍රකාශයට පත් කරන බව ICCය පවසයි.

Exit mobile version