ලිට්‍රෝ සමාගම ලීටර18 ගෑස් ටැංකියේ සංයුතියේ වෙනස පිළිගනී; පාර්ලිමේන්තු උපදේශක සභාවේදී තීරණ රැසක්

ඩොලර් නොමැතිව ලිට්රෝ සමාගම දින 05කට වසයි

ඩොලර් නොමැතිව ලිට්රෝ සමාගම දින 05කට වසයි

පාරිභෝගික අධිකාරියට නොදන්වා ලීටර 18 ගෑස් ටැංකියේ සංයුතිය තමන් විසින් වෙනස් කළ බව (01) පාර්ලිමේන්තුවේ දී රැස් වූ ගෑස් ආශ්‍රිත අනතුරු සම්බන්ධව විමසා බලන විශේෂ අමාත්‍යාංශ කාරක සභාවේ දී ලිට්‍රෝ සමාගම පිළිගත්තේය.

එහෙත් කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයේ අන්තර්ගත ගෑස් සංයුතිය පිළිබඳව සපුගස්කන්ද රසායනාගාරයේ සිදුකළ පරීක්ෂා කිරීම්වල රසායනාගාර ප්‍රතිඵල තමන්ට පිළිගත නොහැකි බවත්, එම රසායනාගාරය සඳහා නිසි ප්‍රමිතියක් නොමැති බවත් ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේය. සපුගස්කන්ද රසායානාගාරයේ දී ගෑස් සංයුතිය පිළිබඳ කළ පරීක්ෂාවේ දී තහවුරු වී තිබුණේ ප්‍රොෆේන් සහ බියුටේන් ප්‍රතිශතය සියයට 49 -51 ලෙසය. එහෙත් මේ අවස්ථාවේ දී කණිජතෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගෑස් සමාගම ප්‍රශ්නකරමින් ඇසුවේ වසර ගණනක් විශ්වාසනීය බව තහවුරු කළ රාජ්‍ය ආයතනයක රසායනාගාර වාර්තාවක් පිළිගත නොහැක්කේ කෙසේද කියාය.

විශේෂ තීන්දු ගණනාවකට එළඹුණු බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි. මේ අනුව ගෑස් සිලින්ඩර ගඳ සුවඳ පරික්ෂා කිරීමෙන් පසුව වෙළෙඳපොළට (01) සිට නිකුත් කිරීමටද තීරණය කෙරිණ. එසේම ගෑස් සිලින්ඩර මෙරටට රැගෙන ඒමට පෙර නැව්වලදීම ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී එකඟත්වයක් ඇති විය.

වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී (01) පෙරවරුවේ රැස් විය. හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට මෙම උපදේශක කාරක සභාව රැස් වූයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුවය.

පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද මෙම සාකච්ඡාවට සහභාගී විය. පාර්ලිමේන්තුවේදී විපක්ෂය ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයක් පිළිබඳවද අදාල පාර්ශව සම්බන්ධ කරගෙන මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

ගෑස් සංයුතියේ වෙනස් කිරීම වත්මන් පුපුරායෑම් වලට බලපෑමක් කළේද යන්න ගැනද, උසස් ප්‍රමිතියෙන් යුතු උපාංග භාවිතයේ ඇති වැදගත්කමද, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාගෙන එම නිර්දේශ ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද, යම් යම් එකඟතාවයන්ට මෙහිදී එළඹුණු බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. පැමිණ සිටි සියලු පාර්ශව වලින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෙහිදී අදහස් ලබා ගැනිණ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රශ්න කිහිපයක් මතු කරමින් ඒවාට හැකි ඉක්මනින් ලිඛිතව හෝ පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *