චීනයේ පොහොර තොගය භාරගන්න මහින්දත් බෑ කියලා – මාධ්‍ය හිමිකරුවන් තමයි ජනපතිට උපදෙස් දුන්නේ – ශෂීන්ද්‍රගෙන් දිලිත්ට ප්‍රහාරයක්

අහිතකර ක්ෂුද්‍ර ජීවින් සහ බැක්ටීරියා අඩංගු බව පැවසෙන චීනයේ සිට ආනයනය කර තිබෙන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 90,000කට අධික ප්‍රමාණය සම්බන්ධයෙන් එල්ල වන විරෝධය හමුවේ එය මෙරටට බාරගත නොහැකි බව අගමැතිවරයා පෙරේදා (27) දින චීන තානාපතිවරයා වෙත පවසා ඇති බව වාර්තා වේ.

චීනයේ සිට මෙරටට ගෙන එන ලද එම කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් සාම්පල පරීක්ෂාව සිදුකරනු ලැබූ අතර එහිදී එම පොහොර තොගය භාවිතයට නුසුදුසු බවට ශාඛ නිරෝධායන සේවය විසින් තහවුරු කරනු ලැබ තිබිණි. කෙසේ වුවද පසුගියදා කෘෂිකර්ම ඇමතිවරයා වන මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය ඇමතිවරයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ චීන තානාපති කාර්යාලයට ගොස් තෙවැනි පාර්ශවයක් හරහා පරීක්ෂණයක් සිදු කිරීමට එකඟතාවය පළකර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇමතිවරුන් විසින් මෙලෙස කෘෂි විද්‍යාඥයින්ගේ තීන්දු නොසලකා හැර මෙරට කෘෂිකර්මාන්තය අනතුරේ හෙළීමට සූදානම්වීම පිළිබඳව බොහෝ පාර්ශවයන්ගෙන් ආණ්ඩුවට බලවත් විරෝධයක් එල්ල විය. විශේෂයෙන්ම මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ හසල දැනුමක් ඇති කෘෂි විද්‍යාඥයින් 140කට වැඩි ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඊයේ (28) දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසක්

ප්‍රශ්නය – මේ කාබනික පොහොර වැඩසටහන ගැන ප්‍රවෘත්ති නිෂ්පාදකවරුන්ව දැනුවත් කරන්න යම් වැඩපිළිවෙලක් තියෙනවාද ? සමහරවිට ඔවුන් නොදැන හින්දා එක පැත්තක් විතරක් වාර්තා වෙනවා වගේ ගතියකුත් තියෙනවා නේද …. ?

“මේක මං හරිද දන්නෑ කියනවා, සමහර මාධ්‍ය ආයතනවල අයිතිකරුවෝ තමයි අපේ ජනාධිපති කාර්ය සාධක බලකායෙ සාමාජිකයො. නම් කියන්න බෑ. ඉතිං දන්නෑ කියන්න බෑ, ඒ අය තමයි ජනාධිපතිතුමාට උපදෙස් දුන්නේ. ඕනෙ නම් ඉතිං නම් දෙක තුනක් කියන්න පුළුවන්”

ඇතැම් කෘෂිකර්ම නිලධාරීන් හිතාමතාම මේ කාබනික පොහොර වැඩසටහන පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම ප්‍රතික්ෂේප කරන බව පැවසූ අමාත්‍යවරයා ඔවුන් පිළිබඳව ඉදිරියේදී පියවරක් ගන්නා බවත් සඳහන් කළේය.

කෙසේ වුවද කෘෂිකර්මික ක්ෂේත්‍රයේ, ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ලවන විරෝධය හමුවේ එම කාබනික පොහොර තොගය මෙරටට භාරගත නොහැකි බව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පැවසීමට සිදුව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *