ඇමති බැසිල්ට එරෙහි දිවි නැගුම අරමුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධ නඩුවකින් නිදහස් කරයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ දින (15) නියම කළා.

එය සිදුවූයේ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීමෙන්.

නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම විත්තිකරුවන්ට එරෙහිව දිවි නැගුම අරමුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් මීට පෙර ගොනුකර තිබූ තවත් නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබූ බව සඳහන් කළා.

එසේ නිදොස් කොට නිදහස් කෙරුණු නඩුවේ කරුණු හා මෙම නඩුවේ කරුණු බොහෝ දුරට සමාන හා සමාන්තර බැවින් එම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව විත්තියේ පාර්ශ්වය විසින් නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

එම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව විත්තිකරුවන්ට අදාළ අධිචෝදනා පත්‍ර පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා තීරණය කර ඇති බවත් ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ අදාළ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට ගැනීමට අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉල්ලීම පිළිගත් අධිකරණය විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් ඔවුන් නිදහස් කිරීමට තීන්දු කළ බවයි කියන්නේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු ට අයත් රුපියල් 36,509,124/- ක මුදලක් වැයකොට GI පයිප්ප බට මිලදී ගෙන දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් එම මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීම පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිවයි නඩුව ගොනුකර තිබුණේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *