Type to search

පහන්තුඩාව, ‘බ්ලූ ෆිල්ම්’ සහ ‘පෝර්න්’ කර්මාන්තය

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

පහන්තුඩාව ඇල්ල අසල රති වීඩියෝවක් පටිගත කර අන්තර්ජාලය වෙත මුදා හල යුවල සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඒ සමග එම ක්‍රියාමාර්ගය සහ ලිංගික නිදහස පිළිබඳ සමාජ ජාල ඔස්සේ සංවාදයක් මතුව තිබේ.

වීඩියෝවේ දැක්වෙන යුවල දඬුවම් ලැබීමට තරම් වරදක් කර නොමැති බව ඇතැමෙකුගේ අදහස වී ඇති අතර තවත් පිරිසක් එම ක්‍රියාව හෙලා දකිමින් ඊට විරෝධය දක්වති.

අදාළ වීඩියෝව “විදේශ රටවල ද ජනප්‍රිය වීමෙන් රටේ සංස්කෘතියට සහ සදාචාරයට මරු පහරක් එල්ල වන” බව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් බෞද්ධ හිමි නමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ බව කියන ලිපියක දැක්වේ.

මේ අතර තවත් සමහරෙකු පවසන්නේ පාස්කු ප්‍රහාරය, මහ බැංකු වංචාව වැනි අපරාධවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු වෙනුවට “සෙක්ස් කරන කපල්” ඇල්ලීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම “විහිළු සහගත” බවය.

 

ශ්‍රී ලංකාව සහ ‘Sex’

2021 වසරේ මේ දක්වා ‘Sex’ යන්න ‘Google’ කළ රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණේ

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ “අසභ්‍ය ප්‍රකාශන” බෙදා හැරීම වරදකි. පොදු ස්ථානවල ‘අශෝභන ලෙස හැසිරීම’ද දඬුවම් ලැබිය හැකි වරදකි. ශ්‍රී ලංකාව වැනි ගතානුගතික රටවල මෙන්ම බොහෝ ඉස්ලාමීය රටවලද ඒ සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක වෙයි. අනෙක් අතින් ‘Google’ ඔස්සේ ‘Sex’ යන්න සොයන (Search) රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වේ.

2012 වසරේ සිට 2016තෙක් නොනවත්වා ‘Sex’ යන්න ‘Google’ කළ රටවල් අතර ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණියේය.

Google serach sex

‘සෙක්ස්’ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් එතරම් උනන්දුවක් දැක්වුවත් ඒ සඳහා විශාල වෙළඳපොළක් පවතින බවට අප සමාජයේ දුර්මතයක් පවතින බව විචාරකයෙකු මෙන්ම ලිංගිකත්වය දෙස ධනාත්මකව බලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින ‘Faculty of Sex’ ක්‍රියාකාරීත්වයේ නිර්මාතෘ චින්තන ධර්මදාස පවසයි.

“අපි ගොඩක් වෙලාවට වරද්ද ගන්න දෙයක් තමයි, ‘සෙක්ස් නම් මාර විදිහට විකිණෙනවා, සෙක්ස් නම් මාර විදිහට යනවා’ කියලා හිතන එක.”

“ඒත් ලංකාවේ සෙක්ස් තමයි අඩුවෙන්ම විකිණෙන්නේ. හැබැයි නිකන් දුන්නොත් යනවා. එහෙම සල්ලි ගෙවලා ‘පෝර්න්’ බලන්නේ නෑ.”

“කර්මාන්තයක තියෙන්න ඕනි මූලික ලක්ෂණය වෙන්නේ බලන්න පිරිසක් සිටීම නෙමෙයි, ඒ කියන පිරිස ඒ වෙනුවෙන් මුදලක් වියදම් කරන්න ලෑස්ති ද කියන දේයි.”

“ඒ නිසා ‘පෝර්න්’ විතරක් නෙමෙයි ලංකාව තුළ කර්මාන්තයක් විදිහට චිත්‍රපට, නාට්‍ය, ලේඛන වගේ කර්මාන්තවලටවත් පැවැත්මක් නැහැ.” යනුවෙන් ඔහු BBC සිංහල සේවය වෙත කියා සිටියේය.

පහන්තුඩාව ඇල්ල අසල යුවලක් රමණයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මීට දින කීපයකට පෙර ‘Pornhub’ වෙබ් අඩවියේ පළ කර තිබිණි.

“Spotify, iTunes දැම්මට කවුද සිංදුවක්වත් සල්ලි දීලා බලන්නේ? ලංකාවේ මිනිස්සු ඕනිම දෙයක් බලන්නේ නිකන් දුන්නොත් විතරයි.”

“වියදමක් දරලා, ඒ වෙනුවෙන් යම් කිසි ගෙවීමක් කරලා ලබා ගත හැකි තෘප්තිය කියන දේ ගැන හැඟීමක් අපේ රටේ නිර්මාණය වෙලා නෑ. නිකන් බුදින තැනක කර්මාන්ත බිහි වෙන්නේ නෑ.”

එබැවින් නිල් චිත්‍රපට නිෂ්පාදනය ඉදිරියේදී “ස්වයං රැකියාවක්” වශයෙන් ආරම්භ වුවත් එහිදී ඒවා නිෂ්පාදනය කරන්නන් සූරා කෑමකට ලක් වනු ඇති බව චින්තන ධර්මදාස පවසයි.

“මිනිස්සු ඒවා එහෙම නිකන් බැලුවත්, ඒ බලලා ඒ හදපු මිනිස්සුන්ට අපවාද කරලා, පොලීසියට හෝ සංස්කෘතික පොලීසියකට කියලා ඒ මිනිස්සුන්ව අත්අඩංගුවටත් අරගෙන, ඒ රූගත කරපු තැන් පුළුවන් නම් වාරණය කරලා, ඒවා පෙම්වතුන්ට තහනම් කරන වගේ ප්‍රතිඵල තමයි අපිට ලංකාව තුළ අත්විඳින්න වෙන්නේ.”

“ඒක ඉතාම නරක තත්ත්වයක්. තමන් රස විඳින, තමන් ආස කරන දේවත් විවෘතව, ගරුත්වයකින් භාර ගන්න බැරි වීම මානව පිරිහීමක් ලෙස මම දකින්නේ. ඒ නිසා ‘පෝර්න්’, කර්මාන්තයක් දක්වා යයි කියලා මම හිතන්නේ නෑ,”

නිල් චිත්‍රපට කර්මාන්තය

ලොව පුරා ජනවර්ගවලට අනන්‍ය වූ එකිනෙකට වෙනස් ඔවුන්ගේම භාෂා, කෑම වර්ග මෙන්ම වෙනස් ආරේ ගති පැවතුම්ද වෙති. ඒ සියලුම කුලක නියෝජනය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිල් චිත්‍රපට (බ්ලූ ෆිල්ම්) හෝ ‘පෝර්න්’ නරඹති. අන්තර්ජාලය ඔස්සේ පරිභෝජනය කරති. ඊට ජාති, ආගම් හෝ වර්ණ භේද නොමැත. එහෙත් ඒ අතරම නිල් චිත්‍රපට සමාජය කෙලෙසන මූලයක් ලෙස නම් කෙරෙයි.

ගතව ගිය දශක කීපය තුළ නිල් චිත්‍රපට හෝ ‘පෝර්න්’, කර්මාන්තයක් ලෙස විශාල පරිවර්තනයකට ලක්ව තිබේ. දිනෙන් දින ඉහළ යන අන්තර්ජාල ග්‍රාහකයන් සහ ජංගම දුරකතන භාවිත කරන්නන් මෙන්ම වේගවත් අන්තර්ජාල සබඳතා ඊට බොහෝ සෙයින් බලපා ඇත. එසේ වුවත් මේ වන විට සම්ප්‍රදායික නිල් චිත්‍රපට කර්මාන්තය කඩා වැටෙන තත්ත්වයකට පැමිණ ඇති බව චින්තන ධර්මදාසගේ අදහසය.

“පෝර්න් නිෂ්පාදන කරපු දැවැන්තයන්ගේ තත්ත්වය බැලුවොත්, ඔවුන් දිගටම කඩා වැටෙමින් සිටිනවා. ඒ සමාගම් වෙනුවට තනි පුද්ගලයෝ ‘Pornhub’ වගේ වෙබ් අඩවි ඔස්සේ කරන ‘චැනල්’ වලින් තමයි එවැනි වීඩියෝ නරඹන්න හැකි වෙන්නේ.”

“මොබයිල් ෆෝන් එක ආවට පස්සේ ගොඩක් දේවල් ‘ලීක්’ වෙන්න පටන් ගත්තා. නිල් චිත්‍රපට කර්මාන්තයට ඒ තත්ත්වයත් එක්ක හැප්පෙන්න බැරි වුණා.”

“‘පෝර්න්’ විතරක් නෙමෙයි ලංකාව තුළ කර්මාන්තයක් විදිහට චිත්‍රපට, නාට්‍ය, ලේඛන වගේ කර්මාන්තවලටවත් පැවැත්මක් නැහැ.”

අවසරයකින් තොරව වෙනත් පුද්ගලයන් අතට පත්ව (ලීක්) හෝ සබඳතා බිඳ වැටුණු පසු පළි ගැනීමේ චේතනාවෙන් මුදාහල වීඩියෝ (Revenge porn) ඉවත් කිරීමට ‘Pornhub’ වැනි ප්‍රමුඛ පෙළ වෙබ් අඩවි කටයුතු කළ බවත් චින්තන ධර්මදාස පැවසීය.

“ඒ වෙනුවට කුඩා කණ්ඩායම් හෝ දෙතුන් දෙනෙක් එක්වෙලා ස්වයං රැකියාවක් විදිහට නැති නම් ස්වයං උත්සාහයක් විදිහට හැදෙන, ‘ෂෝර්ට් ෆිල්ම්’ වගේ වීඩියෝ දකින්න ලැබෙනවා.”

“එහිදීත් ලංකාව වගේ රටවල වෙස් මූනක් හරි, ඔලුවට රෙද්දක් හරි දාගෙන: මොකද අහු වුනොත් එහෙම පොලිසියෙන් හා සමාජයෙන් විඳින්න වෙන ගැහැට ගැන කල්පනාවෙන් ඒවට පෙනී ඉන්නේ.”

“ශිෂ්ඨත්වය හෝ සංස්කෘතිය කියා අප හදාගෙන ඉන්න බැමිවලින් ගැලවිලා ඒ දේ විඳින මොහොතක තිබිය යුතු නිදහස වෙනුවට බයක්, හැංගීමක් තමයි ඒ තුළින් දැනෙන්නේ.” යනුවෙන් චින්තන ධර්මදාස වැඩිදුරටත් සඳහන් කළේය.

‘පෝර්න්’, මානසික සෞඛ්‍යට හානිකර ද?

‘පෝර්න්’ නැරඹීම මිනිසුන්ට අහිතකර ද? නැද්ද? යන්න පිළිබඳ පර්යේෂණ සිදු කර ඇතත් එය සැබවින්ම විද්‍යාඥයින්ට අධ්‍යයනය කිරීමට අපහසු ප්‍රශ්නයකි. ඒ සඳහා පිළිතුරු සෙවීමෙහිලා කෙරෙන පර්යේෂණවලදී ‘පෝර්න්’ නරඹන පුද්ගලයින් ස්වේච්ඡාවෙන් ලබා දෙන දත්ත මත පදනම් විය යුතුය.

එසේත් නොමැති නම් ඒ සඳහා යොදා ගැනෙන පුද්ගලයන්ට ස්වභාවික නොවන, පර්යේෂණාගාර තත්ත්වයන් තුළ ‘පෝර්න්’ නැරඹීමට අවස්ථාව දෙමින් පර්යේෂණ සිදු කළ යුතුය. එය තරමක අපහසුවක් ගෙන දෙන කටයුත්තකි.

දශක ගණනාවක් පුරා පර්යේෂණ කර ඇතත් ‘පෝර්න්’ නැරඹීම හිතකර ද? අහිතකරද? යන්නට මෙතෙක් නිශ්චිත පිළිතුරක් හමු වී නොමැත.

එහෙත් එවැනි දසුන් නැරඹීම ඇබ්බැහියක් දක්වා වර්ධනය වීම විවාහය හෝ සබඳතාවලට (Relationships) මෙන්ම ලිංගික සෞඛ්‍යට ද අහිතකර බලපෑම් ගෙන දෙන බව ඇතැම් විශේෂඥයෝ පවසති.

“සමහර පුද්ගලයන් නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. එම චිත්‍රපටවල අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් පෙන්වනවා. මේ දේවල් අනුකරණය කරන්න උත්සාහ කිරීම බොහෝ විට ලිංගික අප්‍රාණික බවට හේතු වෙනවා,” පවුල් සෞඛ්‍ය‍ විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව මීට ඉහතදී BBC සිංහල සේවයට පැවසුවාය.

මේ අතර අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් දරුවන්ගේ මනෝ ලෝකය තුළ තැන්පත් වීමත් විවාහ දිවියට පත් වූ පසු ඒවා ස්වභාවික ලෝකය තුළින් නොලැබීමත් නිසා ඔවුන් අතරමං වීමකට ලක්වන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර BBC සිංහල සේවය සමග මීට ඉහතදී කළ සාකච්ඡාවකදී සඳහන් කළාය.

– BBC

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *