Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ පාපන්දු කිරුළ වසර 28කට පසු ආර්ජන්ටිනාවට

කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ පාපන්දු කිරුළ වසර 28කට පසු ආර්ජන්ටිනාවට

කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ පාපන්දු කිරුළ වසර 28කට පසු ආර්ජන්ටිනාවට

47වන වරට පැවති කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ ශූරතාව වසර 28කට පසු දිනා ගැනීමට ලියනොල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම (11) සමත් වුණා. ඒ, නේමාර් ද සිල්වා ප්‍රමුඛ බ්‍රසීල කණ්ඩායම ගෝල 01ට බින්දුවක් ලෙස පරාජාය කරමිනි.

අවසන් මහ තරගය බ්‍රසීලයේ මරකානා ක්‍රීඩාංගණයේදී අද නිමාව දුටු අතර මෙරට වේලවෙන් අද අළුයම 05යි 30ට පමණ තරඟය ආරම්භ විය. තරගාවලිය පුරා අපරාජිතව සිටි බ්‍රසීලයට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී ආර්ජන්ටිනාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය තරඟයේ 22 වැනි විනාඩියේදී රොඩ්රිගෝ ද පෝල්ගේ සහයෝගයෙන් ඒන්ජල් ඩි මරියා විසින් වාර්තා කළේය.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 01ට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත් වූ අතර දෙවන අර්ධයේදී දෙපිලම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර ලබා දුන් අතිරේඛ කාලයේදීද කිසිදු ගෝලයක් වාර්තා නොවීය. ඒ අනුව ආර්ජන්ටිනාව ගෝල 1-0ක් ලෙස ශූරතාවය දිනාගනු ලැබීය.

ආර්ජන්ටිනාව දකුණු ඇමරිකානු පාපන්දු ශූරතාව දිනාගත් 15 වැනි අවස්ථාව මෙය වන අතර මෙම ශූරතාවත් සමග එදා මෙදා තුර දකුණු ඇමරිකානු පාපන්දු ඉතිහාසයේ වැඩිම ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන කණ්ඩායම ලෙස උරුගුවේ (15) සමග සම වීමටද ආර්ජන්ටිනාවට හැකි විය. ශූරතා 15 ට අමතරව ආර්ජන්ටිනාව අනු ශූරතාව 14 ක් සහ තෙවැනි ස්ථාන 5 ක් හිමිකර ගැනීමටද සමත්ව සිටියි.

ආර්ජන්ටිනාව අවසන් වරට දකුණු ඇමරිකානු පාපන්දු ශූරතාව ජය‍ගෙන තිබුණේ 1993 වසරෙදීය. ඉන් අනතුරුව තරගාවලි අවස්ථා 4 කදී (2004, 2007, 2015 සහ 2016) එහි අනු ශූරතා‍වයෙන් සහ එක් අවස්ථාවකදී (2019) තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්ව සිටි ඔවුන් මෙවර තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේ වසර 28 කට පසුව වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

මින් පෙර අවස්ථා 5 කදී පිට පිටම දෙවරක් බැගින් (1927-1929, 1945-1946, 1946-1947, 1957-1959 සහ 1991-1993) දකුණු ඇමරිකානු ශූරතාව දිනාගැනීමට සමත්ව සිටි ආර්ජන්ටිනාව, එක් අවස්ථාවකදී පිට පිටම තෙවරක් (1945-1946-1947) එම ශූරතාව තමන් සතු කරගෙන තිබිණ.

සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ නායකත්වය යටතේ ආර්ජන්ටිනාව ප්‍රධාන පෙළේ පාපන්දු තරගාවලිය ශූරතාව දිනූ පළමු අවස්ථාව ලෙසද මෙය සටහන් විය. මේ වන විට 34 වැනි වියේ පසුවන මෙසී, ආර්ජන්ටිනාව නියෝජනය කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලි 4 කට සහ දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලි 6 කට සහභාගි විය. එහෙත් ඔහුට ඉන් එක් තරගාවලියකදී හෝ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන බ්‍රසීලය සහ එහි 8 වැනි ස්ථානයේ පසුවන ආර්ජන්ටිනාව, දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියක අවසන් මහ තරගයකදී එකිනෙකාට එරෙහිව තරග වැදුණ 11 වැනි අවස්ථාව මෙය විය. මින් පෙර පැවති අවසන් මහ තරග 10 න් 8 ක ජය ආර්ජන්ටිනාවටද, 2 ක ජය බ්‍රසීලයටද හිමිවී තිබිණ.

අවසන් වරට පැවැති (2019) තරගාවලියේ ශූරතාවද සමගින් ශූරතා 9 කට හිමිකම් කියූ බ්‍රසීලය, මින් පෙර අනු ශූරතා 11 ක් සහ තෙවැනි ස්ථාන 7 ක් හිමිකර ගෙන සිටියේය. කෙසේ වුවත් මෙවර අවසන් තරගයේදී ආර්ජන්ටිනාව හමුවේ ලද පරාජයත් සමග තරගාවලිය පුරා අපරාජිතව සිටි බ්‍රසීලයට තවත් අනු ශූරතාවකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

තරගයෙන් අනතුරුව නේමාර් ද සිල්වා බාසිලෝනා ක්‍රීඩා සමාජයේ සිය සගයා වූ ලියනෝල් මෙසී අසලට පැමිණ ඔහු වැලඳ ගනිමින් ජය පරාජය බෙදා ගත්තේ පාපන්දු ලෝලින්ගේ හදවත් සසල කරමින්. මෙවර කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ රන් සපත්තුව මෙවර තරගවාරයේ ගෝල 04ක් වාර්තා කළ ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩකයාට හිමි රන් පන්දුවද ඔහු විසින් දිනා ගත්තා.

මෙවර කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ දක්ෂතම දැල් රකින්නා ලෙස සම්මාන දිනා ගත්තේ ආජන්ටිනාවේ එමිලියානෝ මාර්ටින්ස්. අවසන් තරගයේ වීරයා ලෙස ජයග්‍රාහී ගෝලය වාර්තා කළ ආජන්ටිනාවේ ඒන්ජල් ඩී මරියා සම්මාන දිනා ගත්තා.

Exit mobile version