Online අධ්‍යාපනය නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට වත්මන් ආණ්ඩුව අසමත් – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

මාර්ගගත අධ්‍යාපනය හෝ නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට වත්මන් ආණ්ඩුව අසමත් – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

මාර්ගගත අධ්‍යාපනය හෝ නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට වත්මන් ආණ්ඩුව අසමත් – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

ආණ්ඩුවේ නොසැලකිල්ලෙන් වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් මතුව ඇතැයි පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.

එම සංවිධානයේ ලේකම් නාගස්තැන්න අරුණ හිමියන්ගේ අත්සනින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇති අතර එම නිවේදනය පහතින් පල වේ.

“ආණ්ඩුවේ නොසැලකිලිමත්කම හමුවේ වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සම්බන්ධවයි.

කොරෝනා වසංගතය හමුවේ මේ වන විට රටේ සියලුම ක්ෂේත්‍ර අර්බුදයට ලක් වී ඇති තත්ත්වයක අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද ගැටලු රැසක් මතු වී ඇත. ජනතාවට වගකියන ආණ්ඩුවක් ලෙස එම ගැටලූ විසඳීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කරනවා වෙනුවට දෛනිකව දකින්නට තිබෙන්නේ එම ගැටලු වර්ධනය වීමක් පමණි. මේ හේතුවෙන් හතලිස් පන්ලක්ෂයක් පමණ වූ මෙරට සිසු සිසුවියන් මෙන්ම ගුරුවරුන්ද මහත් අපහසුතාවයකට පත්ව ඇත.

කොරෝනා වසංගත ව්‍යාප්තිය සමඟ දැනට මාස පහළොවකට වැඩි කාලයක් පාසල් වසා ඇත. මෙම තත්ත්වය තුළ මාර්ගගත (online) ක්‍රමයට අධ්‍යාපනය පවත්වාගෙන ගියත් එය මෙම ගැටලුවට විසඳුමක් නොවේ. මෙනිසාම අධ්‍යාපනයෙන් පිටමං වන පිරිස ඉතා ඉහළය.

නාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වෙන සිසුන්ගේ අධ්‍යාපනයට එල්ල කර ඇති බලපෑම ප්‍රබලය.

එක් පසෙකින් තාක්ෂණික උපකරණ නොමැතිකමත්, උපකරණ ඇතත් දත්ත නොමැතිකම (data) නිසාත්, දත්ත තිබුණත්, අවශ්‍ය තරම් ආවරණයක් (signal) නොමැතිකම ආදී හේතූන් නිසා මාර්ගගත අධ්‍යාපනය සමඟ සම්බන්ධ වීමට විශාල සිසුන් ප්‍රමාණයකට නොහැකි වී තිබේ. එම නිසා ගස් ගල්උඩ, වතුර ටැංකිඋඩ වහලවල් උඩ නැග සිය අධ්‍යාපන කටයුතු කරගැනීමට සිසුන්ට සිදුව තිබේ. ඇතැම් සිසුන්ට එසේ වත් පහසුකම් නොමැත.

මෙම අර්බුදයේ තවත් පැතිකඩක් වන්නේ ඇතැම් විෂයයන් සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් පවත්වාගත නොහැකි වීමයි. උදාහරණයක් ලෙස සංගීතය, නර්තනය ආදි සෞන්දර්ය විෂයයන් වලට අදාළව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට නොහැකි වී තිබේ. එමෙන්ම විද්‍යාගාර ආශ්‍රිතව සිදු කළ යුතු ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද මේ වනවිට පවත්වාගෙන යාමට නොහැකි ය. 2020 වර්ෂයට අදාළව සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන්ගෙ සෞන්දර්ය විෂයයන් වලට අදාළව ප්‍රායෝගික පරීක්ෂණයන් මෙතෙක් පවත්වා නැත. ඊට විකල්පයක් ලෙස පාසලේ දී සිදුකළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හි අදාළ ලකුණු ආදේශ කිරීමට බලධාරීන් තීරණය කර ඇත. එය ද 2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කර ගත හැකි වුවත්, 2021 වර්ෂයට එය විසඳුමක් නොවේ. තවද ගිය වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කළ සිසුන්ට පාසලට යෑමට ලැබුණේ ඉතා කෙටි දින ගණනක් පමණි.

අධ්‍යාපනය ලබනවා යනු හුදු පොතපතේ දැනුම පමණක් ලබා ගැනීම නොව, සිසුන් සමාජානුයෝජනය වීම, පෞර්ෂ වර්ධනය කරගැනීම, ක්‍රීඩා කෞෂල්‍යයන් වර්ධනය කර ගැනීම ආදී තවත් බොහෝ දේ ලබා ගැනීමයි. නමුත් මෙම තත්ත්වය යටතේ සිසුන්ට එම සියලු අවස්ථා මඟ හැරී ඇත. එපමණක් නොව නිවස තුලට පමණක් වී දීර්ඝ කාලයක් සිටීම නිසා විවිධ මානසික ව්‍යාකූල තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ද ඇත.

තත්ත්වය එසේ තිබියදී මාර්ගගත අධ්‍යාපන හෝ නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීන් සමත් වී නොමැත. අඩුම තරමේ දුරකථන සමාගම් සමඟ සාකච්ඡා කර ඔවුන් ලබා දෙන night time data,(රාත්‍රී කාලේ පමණක් ලබාදෙන දත්ත) day time data (දිවා කාලයේ පමණක් ලබාදෙන දත්ත) වෙනුවට anytime data(පොදුවේ ලබාදෙන දත්ත) ලබාදීමට, රජයේ නාලිකා උදේ වරුව අධ්‍යාපන කටයුතු ඉගැන්වීම සඳහා වෙන් කිරීම, දුරකථන ගාස්තු සඳහා පනවා ඇති අසීමිත බදු අඩු කිරීම, ආදී අවම ක්‍රියාකාරකම් සඳහා වත් බලධාරීන් සිය අවධානය යොමු කර ඇති බවක් දක්නට නැත.

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමට ප්‍රථම වුවද අපේ රටේ අධ්‍යාපනය පැවතුනේ අර්බුදයන් රැසක් තුළය. වසංගතය සමඟ එම අර්බුදයන් වැඩි විය. අධ්‍යාපනයට ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර රටේ සිසුන්ගේ අධ්‍යාපනය නගා සිටුවනවා වෙනුවට පසුගිය අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කරනු ලැබුවේ 1% වඩා අඩු මුදලකි. මෙනිසා හතළිස් පන්ලක්ෂයක් පමණ වූ මෙරට සිසු සිසුවියන් මේ වනවිට කබලෙන් ළිපට වැටී ඇත.

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ලෙස අප වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීන්ට අවධාරණය කර කියා සිටින්නේ ඉහත සඳහන් ගැටලු කෙරෙහි නිසි අවධානයක් යොමුකර කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. එසේ නොවුනහොත් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට ආදරය කරන සියලු බලවේගයන් සමඟ අත්වැල් බැඳගෙන මෙයට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කර කියා සිටිමු.

ස්තුතියි
මෙයට
ලේකම්
නාගස්තැන්න අරුණ හිමි
පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
2021-06-26″

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *