Type to search

ධම්මික පැණිය ගැන මාධ්‍ය ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕන – සිනමාවේදී සෝමරත්න දිසානායක

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ධම්මික පැණිය සායනික පර්යේෂණවලින් අසමත්. මුලින් කීවේ සීයට සීයක් සාර්ථක, එක්වරක් බීවොත් ජීවිතේට කොවිඩ් වැළඳෙන්නේ නැති බව. ඒ සියල්ලට ආවරණය දුන් මාධ්‍යවලට ඒ ප්‍රවෘත්තියත් වාර්තා කරලා අත පිහදාගන්න පුළුවන්ද?

මේක වෙනත් ව්‍යාජ ප්‍රවෘත්තියක් වගේ නෙවෙයි. මේක මිනිසුන්ගේ ජීවිත එක්ක කරන ගනුදෙනුවක්. විශේෂයෙන් පදනමක් නැතිව කිසියම් බෙහෙතක් ශරීරගත කිරීම භයානකයි. ඔය එක එක වන්දනා ක්‍රම, මන්තර, ශාන්තිකර්ම ආදී දේවල් තව මිනිසෙකුගේ ඇඟක් ඇතුළට යන්නේ නෑ. ඒකේ තියෙන්නේ මානසික බලපෑමක්. ඒක ඕනෑ කෙනෙකුට විශ්වාස කරන්න හෝ නොකරන්න පුළුවන්. ඒත් මනුස්සයෙකුගේ ශරීරය ඇතුළට බෙහෙතක් යනවා කියන්නේ, විශාල වෙනසක්. ඒකේ ප්‍රතිවිපාක ශරීරය ඇතුළටම එනවා. ජීව විද්‍යාත්මකව බලපානවා. ඒ නිසා බෙහෙතක් කියා යමක් ශරීරගත කරනවා නම් භයානකයි. මේ වගේ දේවල්වල වගකීම තියෙන්නේ රජයට. අපට සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා. ඒකට වෙනම බලධාරීන් ඉන්නවා. පර්යේෂණ කරන ආයතන තිබෙනවා. වෛද්‍යවරුන්, විශේෂඥයන්, මහාචාර්යවරුන් ඉන්නවා. ඒවා පාවිච්චි කරමින් මිනිසුන්ගේ ශරීරයට ඇතුළු කරන ඖෂධයක් සායනික පර්යේෂණයකින් තහවුරු වෙන්න ඕනෑ. ඒක වුණාට පස්සේ තමයි මහජනයාට දෙන්නේ. එන්නතක් හෝ බෙහෙතක් හෝ පෙත්තක් හෝ දියරයක් හෝ පැණියක් හෝ ඕනෑ දෙයක් වගකීමකින් කරන්න ඕනෑ.

ඒ වගකීම තිබුණේ නෑ..
මෙතැන එහෙම එකක් වුණේම නැහැ. එක්කෙනෙක් කීවා තමන් මෙහෙම එකක් හදලා තියෙනවා කියලා. එයාත් දන්නේ නෑ ඒක කොහොමද හැදුවේ කියලා. එයා කියන්නෙත් දෙයියෝ දුන්නා කියලා. කවුරු දුන්නත් කමක් නෑ, මේක සහතික වෙන්න එපායැ. මේකේ භයානකකම මේකයි. රජයෙන් පවා මැදිහත් වෙලා මේක ප්‍රවර්ධනය කළා.

ඇමතිවරුන් පවා බිව්වා..
ඔව්, රාජ්‍ය මාධ්‍යවලින් වගේම රාජ්‍යයට උදව් කරන පුද්ගලික මාධ්‍යවලින් මහජනයා අතර ප්‍රචාරය කළා. ඒ අනුව මම මේක සලකන්නේ ජාතික අපරාධයක් විදියට. ජනතාවට වගකියන අය පුද්ගලික සමාගමක හෝ කණ්ඩායමක ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මෙහෙම ප්‍රචාරයක් සිදු කිරීම ජාතික අපරාධයක් විදියටයි සලකන්න ඕනෑ. අපි දිගටම කිව්වා කිසියම් බෙහෙතක් ජනගත කරන්න කලින් පිළිවෙතක් තියෙන්න ඕනෑ බව. පෙරදිග වුණත්, බටහිර වුණත් බෙහෙතක් ජනගත කරද්දී අනුගමනය කළ යුතු පිළිවෙතක් තියෙනවා. ඕනෑ වෛද්‍ය ක්‍රමයක එහෙම පිළිවෙතක් තියෙන්න ඕනෑ බව පිළිගන්නවා. බෙහෙත සනාථ වුණාට පස්සේ තමයි මිනිසුන්ට දෙන්නේ. ඒ කිසිවක් නැතිව දෙයියන් දුන්නා, කාලි මෑණියන් දුන්නා කිව්ව පළියට ජනතාවට වගකියන, ආරක්ෂාවට ඉන්න, ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඇමතිවරුන් හා රාජ්‍ය බලධාරීන් මේක වෙනුවෙන් පෙනී සිටියානේ. මේක බොන්න, ආයෙත් හැදෙන්නේ නැහැ, ඔන්න අපි බිව්වා කියන සහතිකය දුන්නා. ප්‍රවෘත්ති ප්‍රකාශවලදීත් මේක ප්‍රමුඛ පුවතක් හැටියට අරගෙන ප්‍රචාරය දුන්නා. මම මේක ජාතික අපරාධයක් විදියට කීවේ ඒ නිසයි. ඇමතිවරුන් විතරක් නෙවෙයි, මේ විෂයන්ට අදාල වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් ආදී අය පවා මේ බොරුවට දායක වෙද්දී ජනතාව මේවා පස්සේ යනවා. මේක මිනිසුන් නොමග යැවීමක්.

අන්තිමේ සාමාන්‍ය මිනිසුන් අවදානම් සහගත විදියට එකතු වෙලා පොර කන තත්වයට පත් වුණා..
ඒක වැඩිපුර භයානක දෙයක් වුණා. රජයෙන් කියනවා මීටරයේ දුරින් ඉන්න, අනවශ්‍ය ගමන් යන්න එපා, එකතු වෙන්න එපා කියලා. අනෙක් පැත්තෙන් මේ පැණියක් ප්‍රචාරය කරලා මිනිසුන් පොදි ගැහෙන හැටි බලා ඉන්නවා.
මේක බීලා තමන්ට ජීවිතේට කොවිඩ්-19 හැදෙන්නේ නෑ කියන විශ්වාසයෙන් කී දෙනෙක් ඉන්න ඇතිද?
දැන් හරි නම් මේවා ප්‍රචාරය කරපු මාධ්‍ය නැවත කියන්න ඕනෑ තමන්ට වැරදුණා කියලා. ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනෑ. අඩු තරමේ ඒක බීපු ඇමතිනියටත් පස්සේ කොරෝනා හැදුණා. එයා බොනවා පෙන්නුවා. ආයෙමත් හැදෙන්නේ නෑ කියන සහතිකය ඇතිවනේ බීවේ. අඩු තරමේ ඇමතිනිය හරි සමාව ඉල්ලලා, තමන්ට වැරදුණා කියලා ප්‍රකාශයක් කරන්න ඕනෑ.

මේ ආණ්ඩුවම කොවිඩ්-19 ගැන අසත්‍ය ප්‍රචාර කළායැයි පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා. ලොකුම බොරුව කළ අයට නැති නීති..
අන්න ඒක තමයි. ඇමතිවරුන් සහ රාජ්‍ය බලධාරීන් බොරු කරනකොට හරි. කිසිම වගකීමකින් තොරව වැඩ කරනකොට හරි. අපි දන්නේ නෑ මේවා වෙනුවෙන් පෙනී හිටපු අයට යම් කිසි වාණිජමය ලාභ ලැබුණාද කියලා. ඒවා වෙනම හොයා බලන්න ඕනෑ.

මාධ්‍යවලට තියෙන වගකීමක් තමයි මිත්‍යාව ගැන විමර්ශන කරලා ඇත්ත කීම..
ඒක වෙනම දීර්ඝව කතා කරන්න ඕනෑ දෙයක්. මිත්‍යාව කියන්නේ කොරෝනා වගේ තවත් වසංගතයක්. සමහරවිට කොවිඩ්-19ට වඩා ලොකු ඇති ඒ වසංගතේ. මිත්‍යා ඇදහිලි. නොදන්නා අදෘෂ්‍යමාන බලවේගවලින් ජීවිත පාලනය කරනවා, අපට පිහිට වෙනවා, බේරගන්නවා කියන ඇදහිලි. දේව, යක්ෂ, භූත, පිශාච ඇදහිලි පිටිපස්සේ යන සමාජයක් ඉන්නේ. ඒකට මිනිසුන්ට දොස් කියන්න බැහැ. ඒවා පරම්පරාවෙන් ආපු දේවල්. ඒත්, රජය මේවා වෙනුවෙන් පෙනී සිටීමයි ප්‍රශ්නය. මම නම් කියන්නේ රජයට ආගමක් වෙනුවෙන් පෙනී සිටින්නත් බෑ.

ඒක වැදගත් තර්කයක්..
ඔව්, රාජ්‍ය ආගමක් කියලා දාගන්න බෑ. ආගම කියන්නේ දේශපාලන මතයකට අයිති එකක් නෙවෙයි. එක එක්කෙනාගේ විශ්වාසය. කවුරුහරි කළු ගලකට හෝ කොස් ගහකට වැඳලා පහන් පත්තු කරනවානම් ඒක විශ්වාසය. ඒත් මේ ගහේ දෙයියෙක් ඉන්නවා, ඇත්ත තමයි කියන්න රජයට බෑ. රජය ස්වාධීන වෙන්න ඕනෑ. රජයට කිසිම ආගමක් වෙනුවෙන් පෙනී ඉන්න හෝ රාජ්‍ය ආගමක් නම් කරන්න බෑ. මේක මිශ්‍ර ආගමික රටක් නම් එක ආගමක් ලොකුයි කියන්න අයිතියක් නෑ. ඒත් අපේ එහෙම නෑ. අපේ රටේ ආගමික විශ්වාස නොවන ඇදහිලිවලට පවා රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. ඕනෑ ආගමක් පසුපස දර්ශනයක් තියෙන බව ඇත්ත. ඒ දාර්ශනික විශ්වාස පාලකයන් පදනම් කර ගත්තාට කමක් නෑ.

ඒ කියන්නේ ආගමික නායකයන්ගේ ප්‍රකාශ, ඉගැන්වීම් මත පදනම් වීම..
ආගමික නායකයන් විතරක් නෙවෙයිනේ. බුදුහාමුදුරුවන්, ජේසුස් වහන්සේ පමණක් නෙවෙයි. කාල් මාක්ස්, මහත්මා ගාන්ධි ආදී බොහෝ අය දර්ශනයක් ප්‍රකාශ කරපු අය. ඒ අය විශ්වාස කරන ඕනෑ තරම් ඉන්නවා. ඉතින් ඒවා උපුටා ගත්තාට කමක් නෑ. ඒත් රජය අධිමානුෂික බලවේග විශ්වාස කරමින් ඒවා ඇත්ත කියලා සහතික කරන්න බැහැ. එහෙම කරනවා නම් ඒක නූගත්කමක් හැටියටයි අපි සලකන්න ඕනෑ.

ඔබ ජාතික රූපවාහිනියේ සභාපතිව සිටියදී විකාශය වූ යථාරූප වැඩසටහන මිත්‍යා විශ්වාස ගැන සාකච්ඡා කළ එකක්. මිනිසුන් ඒවා උනන්දුවෙන් නැරඹූ බව පෙනුණා..
මිනිසුන්ට හිතීමේ නිදහස දෙන්න ඕනෑ. මිනිසුන් තර්ක බුද්ධියෙන් වටහාගනීවි. පරිකල්පන නිදහස කියා එකක් තියෙන්න එපායැ. බුද්ධාගමේ පවා බුදු හිමියන් කාලාම සූත්‍රයේ ඉගැන්වූ බව කියනවා කෙනෙක් කී පළියට, කොහේ හරි ලියා තිබූ පළියට පිළිගන්න එපා. ඇසින් දැකලා විශ්වාස කරන්න. සාධක නැත්නම් පිළිගන්න එපා කියලා. එහෙම කියපු බුදුදහම අදහන අයම කියනවා හරස් ප්‍රශ්න අහන්න එපා කියලා. ඒත් ඊට පස්සේ ශක්‍ර දෙවියන්, මහා බ්‍රහ්මයා, මාතලී දිව්‍යා පුත්‍රයා, තිස්තුන්කෝටියක් දෙවිවරුන්, නාථ දෙවියන්, කාලි අම්මා, කතරගම දෙවියන්, යකුන්, නාගයන් ආදී අය ගැන කියනවා. ඒවා අපට විශ්වාස කරන්නලු. මිනිසුන්ට හිතන්න නිදහස නොදෙන අවස්ථාවලදී තමයි මේවාට නිදැල්ලේ පැතිරෙන්න ඉඩ ලැබෙන්නේ. හිතන්න නිදහස දුන්නොත් මේවායේ ඇත්ත නැත්ත ගැන විමසන්න ලැබේවි.

සමහරවිට ඒවා ඇත්ත කියලා තහවුරු කරන්නත් අවස්ථාව ලැබේවිනේ..
මම යථාරූප කරනකොට උපදෙස් දුන්නේ මෙහෙමයි. වැඩසටහන් නිෂ්පාදකයන්ගේ පැත්තෙන් මේක නෑ කියලා තර්ක කරන්න එපා. ඒ වෙනුවට ඒක තියෙනවා කියලා ඔප්පු කරන්න අවස්ථාව දෙන්න. ඒවා ප්‍රශ්න කරන්නත් අවස්ථාව දෙන්න. එක පැත්තකට විතරක් ඉඩ දෙන්න එපා. දෙපැත්තේම කණ්ඩායම් දෙක එන්න. මම අදටත් කියන්නේ ඒ වගේ අදෘෂ්‍යමාන දෙයක් මට කවුරුහරි ඔප්පු කළොත් මම පිළිගන්නවා. එතෙක් පිළිගන්නේ නෑ. ඒත් ඇත්තටම ඔප්පු කරන කෙනෙක් නෑ. රජයකට බැහැ සනාථ නොකළ දෙයක් ප්‍රවර්ධනය කරන්න. ඒත් ඔය නායකයන් ඉන්නේ අත්වල පිරිත් නූල් පොදි ගණන් ගැටගහගෙන. එහෙම රාජ්‍ය නායකයන් ඉන්නකොට ජනතාවට මේවා විශ්වාස කරන්න එපායැයි කියන්නේ කොහොමද. ඔවුන් පුද්ගලිකව ඕවා කළාට කමක් නැහැ. එහෙත් ජනතාව ඉදිරියට එනකොට ඒවා බැහැ. මේක ඇදහිලි සඳහා නිදහස සීමා කිරිමක් නෙවෙයි. ඇදහීම්වලට නිදහස තියෙද්දී කතා කරන්නත් නිදහස තියෙන්න ඕනෑ. ප්‍රශ්න කරන්නත් නිදහස තියෙන්න ඕනෑ. යථාරූප වගේ වැඩසහනක් දිගටම තිබුණා නම් මිනිසුන්ට හිතන්න නිදහස පුළුල් වෙනවා. ඒක නිසා තමයි ඒවා තහනම් කරලා තියෙන්නේ.

පෞද්ගලික ආයතන ලාභ පසුපස යනවායැයි සිතමු. ජාතික රූපවාහිනිය වගේ රජයේ මාධ්‍ය ආයතනවලට තමයි විද්‍යාව ප්‍රවර්ධනයට වැඩි වගකීමක් තියෙන්නේ..
හරියට හරි. නිවැරදි දේ වෙනුවෙන් ඔවුන් පෙනී ඉන්න ඕනෑ. සත්‍යය මොකක්ද කියලා කතාබහ කරන්නත් ඉඩ දෙන්න එපායැ. එක් පැත්තක් වහලා. මේක පිළිගන්න කියලයි ඔවුන් කියන්නේ. ඒක වැරදියි. මා එවැනි දේවල් සලකන්නේ රාජ්‍ය විරෝධී වැඩ කියලයි.

ධම්මික පැණිය වගේ මිත්‍යා කතන්දර හැමදාම ප්‍රචාරය කරනවා. පසුව බොරු බව ඔප්පු වෙනවා. මේ රැල්ලට එරෙහිව පුරවැසියන්ට කරන්න පුළුවන් මොනවාද?
මේ ගැන කතා කරන, අපේ මතයේ ඉන්න අය නිහඬ කරලා තියෙන්නේ. මේවා ගැන කතා කරන්නට මාධ්‍යවල ඉඩ නෑ. මා කියන්නේ ඒ නිහඬ කිරීමට අපි යට වෙන්න හොඳ නෑ. අපට තියෙන හැම අවකාශයක්ම පාවිච්චි කරමින් මේවාට විරුද්ධව කතා කරන්න ඕනෑ. අපට ඉඩ තියෙන අවකාශ තියෙනවා. සමාජ මාධ්‍ය, වෙබ් අඩවි, විකල්ප පුවත්පත් ආදී අවකාශ තියෙනවා. ඒවා තුළින් හරි කතා කරන්න ඕනෑ. බැරි නම් මිනිසුන් හමු වෙලා හරි කතා කරන්න ඕනෑ. සම්මන්ත්‍රණ පවත්වලා, දේශන පවත්වලා මේ මතය දෙන්න ඕනෑ. මිත්‍යාවට එරෙහිව අපි සංවිධානය වෙන්න ඕනෑ. බොරුවක් ජනගත කරනවා නෙවෙයිනේ. ඇත්ත හොයලා බලලා පිළිගන්න කියලයි අපි යෝජනා කරන්නේ. අඩු තරමේ ඊළඟ පරම්පරාවට හරි ඒ දැනුම දෙන්න පුළුවන්. කුරුවල් වූ වැඩිහිටි පරම්පරාවට අලුත් දෙයක් දෙන්න බැරිව ඇති. ඒත් අලුත් පරම්පරාවට සිතීමේ, පරිකල්පනයේ නිදහස දෙන්න ඕනෑ. නිවහල් චින්තනය හරි වැදගත්. ප්‍රශ්න කරන්න, නිදහසේ හිතන්න ඉඩ දෙන්න ඕනෑ. වැඩිහිටි පරම්පරාවේ ඉන්න, නිදහසේ හිතන කිහිපදෙනා හරි එකතු වෙන්න ඕනෑ. සංවිධානය වෙලා අපට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් යමක් කරන්න ඕනෑ. මේ ධම්මික පැණිය, සුදර්ශන පැණිය වගේ ඒවා තනි සිදුවීම් පමණයි. මේවා උදාහරණවලට අරගෙන, මීට එහා ගිහින් සමාජයේ මුල් බැසගත් මිත්‍යා අදහස් ගැන කතා කරන්න ඕනෑ. ඒක ඊළඟ පරම්පරාව වෙනුවෙන් කරන්න පුළුවන් ආයෝජනයක්. ඒ වෙනුවෙන් කුමන හෝ ආකාරයක සමාජ ව්‍යාපාරයක් බිහිවිය යුතු බව මා හිතනවා.

සාපේක්ෂව බැලුවොත් පෙර පරම්පරාවේ අය ටිකක් විචාරශීලීව හිතනවා..
අලුත් පරම්පරාව හැදෙන්නේ මාධ්‍ය දිහා බලාගෙන. තියෙන මාධ්‍ය මොනවාද, ජනප්‍රිය මාධ්‍යය තමයි රූපවාහිනිය. ඒකේ තියෙන දේවල් දිහා බලාගෙන තමයි හිතන්නේ. ඒකේ මිත්‍යාව වපුරුවනවා නම් හැදෙන්නේ ඒක බලාගෙන. අලුත් පරම්පරාව මිත්‍යාවට නැඹුරු වෙනවා වැඩියි. කලින් පරම්පරාවලට තිබුණ සංවාදශීලී අවකාශයත් හැකිළිලා.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *