Type to search

සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් ඇත්තද?

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

හෝටලයක් ගහන්න සිංහරාජෙ කරන කැලෑ කැපිල්ල කියන්න ලක්ෂතියට ආ පුංචි කෙල්ල

සිංහරාජය ආශ්‍රිතව සිදුවන වන විනාශය හේතුවෙන් දැඩි පාරසරික බලපැමක් ඇති බවත් ඒ හරහා මෙරට ජෛව විවිධත්වයටද දැඩි බලපැම් එල්ල වී ඇති බව සිරස ලක්ෂපති වැඩසටහනට එක්වූ භාග්‍යා අබේරත්න පවසයි.

පරිසර විනාශයක් හරහා සිදුවන සංවර්ධනය අර්ථ විරහිත බව ඇය පෙන්වා දෙයි.

“මං ජීවත්වෙන්නේ සිංහරාජෙ මායිමේ. උදේ හවස යද්දි ඇස් පනා පිටම කැලේ එළි වෙනවා බලන් ඉන්න මට වෙලා තියෙනවා. මම විතරක් නෙවෙයි මේ වෙනුවෙන් හඬ නගන්නේ. විශාල පිරිසක් හඬ නගනවා.

දැන් අලි දෙන්නයි ඉතුරුවෙලා ඉන්නේ. එයාලත් තව මහා ලොකු කාලයක් ජීවත් වෙයි කියලා මම හිතන්නේ නෑ.අපි ජීවත්වෙන වපසරිය වගේම සත්තුන්ටත් ඒ අයිතිය තියෙනවනේ. අපි ඒ අයිතිය දෙන්න ඕනෙ.

1997 දීලා තියෙනවනේ අපිට කතා කරන්න මේ වගේ වන සංහාරයක් වෙද්දි. මං හිතන්නේ අපි මෙච්චර කියද්දි අදාල බලධාරීන් මේ ගැන ඇවිල්ලා මේ ගැන විමර්ශනය කරන්නේ නැත්තේ එයාලට ඒ තරම් වැඩ ඇති. සිංහරාජෙ විතරක් නෙවෙයි මේක වෙන්නේ. මම කතා කරන්නේ ගස් කොළ ගැණ විතරක් නෙවෙයි ඒ ජෛව පද්ධතිය වාසභූමිය කරගත්තු දැවැන්ත සත්ත්ව ප්‍රජාවක් ඉන්නවා. බස් එකේ යද්දි ඕන කෙනෙක්ට පේනවා. මං හිතන්නේ රටම දන්නවා ඒක ගැන.”

දැන එතන කැලේ කපලා හෝටලයක් හදන්න යනවා. ගියොත් හැමෝටම බලාගන්න පුළුවන්’යැයි වැඩිදුරටත් ඇය පැවසුවාය.

”සිංහරාජ අඩවිය වටා මහා වනාන්තර කොල්ලයක්”: සජීව චාමිකර නම්ගම් සමග කරන හෙළිදරව්ව

“ජනාධිපතිරයාගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් අද වන විට සිංහරාජ අඩවිය වටා ම සිදු කෙරෙමින් පවතින,” බවට ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සාමාජික සජීව චාමිකර මහතා චෝදනා කරයි.

ඔහු සිය ෆේස්බුක් ගිණූමෙහි තැබූ දීර්ඝ සටහනක මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් දැක්වේ.

එම වාර්තාව මෙසේය.

“මේ වන විට ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 231 සී රක්වාන දකුණ ග‍්‍රාම නිලධාරී වසමේ පන්නිල වනාන්තරයේ රොස්මේරිය කොටසේ ස්ථාන හතරක අක්කර 85 ක් පමණ වන වනාන්තර එළිපෙහෙළි කර ගිනි තැබීම සිදු කරමින් තිබේ.

මීට අමතර ව කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත් පිරිසක් විසින් මහා පරිමාණයෙන් එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම සිදු කරමින් පවතී. මේ වන විට අක්කර 10 කට වඩා වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත. මෙලෙස එළිපෙහෙළි කර ඇත්තේ කුකුළේ ගඟ හා සම්බන්ධ කුඩව ගඟේ ප‍්‍රධාන අතු ගංගාවල ජලපෝෂක වනාන්තර පද්ධතියයි.

දැනට මාස දෙකක පමණ කාලයක සිට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සිරිපාල අමරසිංහ මහතාගේ අනුග‍්‍රහය යටතේ සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිං සයිඩ් ප‍්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප‍්‍රදේශයට සිංහරාජයේ ජීවත් වන අලින් ගමන් ගන්නා ප‍්‍රධාන අලිමංකඩ වන මාණික්කවත්ත, බෝටියතැන්න අලිමංකඩ අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් වනාන්තර එළි කර හෝටල් දෙකක් ඉදි කරමින් පවතී.

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දොලේකන්ඳ ග‍්‍රාම නිලධාරී වසමේ අක්කර 7 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් එළි කර කහවත්ත, ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ බෑනණුවන් එක් හෝටලයක් ඉදි කරමින් පවතී. මෙම ඉදිකිරීම සඳහා කලවාන ප‍්‍රාදේශීය සභාවෙන් පාරිසරික අණ පනත් උල්ලංඝණය කරමින් අනුමැතිය ලබා දී ඇත. මේ වන විට බැකෝ යන්ත‍්‍ර භාවිත කර වනාන්තර එළි කිරීම, භූමිය සකස් කිරීම හා ගොඩනැගිලි ඉදි කිරීම සිදු කරමින් පවතී.

අනෙක් හෝටලය ඉදි කරනු ලබන්නේ, බෝටියතැන්න අලිමංකඬේ ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප‍්‍රදේශයේ අක්කර 8 ක පමණ වනාන්තර භූමියක් එළි කරමින් ගොඩකවෙල ව්‍යාපාරිකයකු විසිනි.

සිංහරාජ අඩවියේ ජීවත් වන අලින් දෙදෙනාගේ ප‍්‍රධාන අලිමංකඩ මේ ආකාරයෙන් හෝටල් ඉදි කර අවහිර කිරීම හේතුවෙන් රඹුක, තණවෙළ, ඇල්ලගම, හන්දියෙකඩේ ගම්මානය, කජුගස්වත්ත, පොතුපිටිය, කෝපිකෑල්ල හා සයිප්රස්වත්ත යන ගම්මානවලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජනවලට හා වගා බිම් හා දේ‍පොළ හානි කිරීම්වලට මුහුණ දීමට සිදු වනු ඇත.

සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප‍්‍රමාණයක් රක්ෂිත ප‍්‍රදේශ ලෙස ප‍්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබියදී මේ ආකාරයෙන් ඒ වටා පිහිටි වනාන්තර එළි කිරීම, තේ වගාව ව්‍යාප්ත කිරීම හා හෝටල් ඉදි කිරීම ව්‍යාපාරික බලය හා දේශපාලන බලය භාවිත කරමින් සිදු කරමින් පවතී.

මෙම වනාන්තර ඉඩම් සිංහරාජයට සම්බන්ධ කිරීමේ සැලැසුම් ක්‍රියාත්මක වන අතරතුර එම කටයුතු වැළැක්වීම සඳහා කඩිනමින් මෙම වනාන්තර එළිපෙහෙළි කර තේ වගාව ව්‍යාප්ත කර සංවර්ධනය කර ඇති බවට සනාථ කර ඉඩම් අයිතිය ලබා ගැනීමට සූදානම් වේ.

සුවිශේෂී වනාන්තර සිංහරාජයට අහිමි කිරීම

“ගම සමග පිළිසඳරක්” වැඩසටහන හරහා රක්ෂිත වනාන්තරවල වගා බිම් ව්‍යාප්ත කිරීමට අනුබල ලබා දීම හා රක්ෂිතවල මායිම් සංශෝධනය කර නීති විරෝධී හා අනවසර වගා බිම් පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසට නිලධාරීන්ට නියෝග නිකුත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙවන් තත්ත්වයන් සිංහරාජය වටා වර්ධනය වෙමින් පවතී.

එපමණක් නොව 2004 වසරේදී ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් රටේ අනාගතය ගැන සිතා සැකසූ ඉතා හොඳ තීරණ ක්‍රියාත්මක නොවීම ද මෙම වන විනාශයන්ට ප‍්‍රධාන හේතුව වී ඇත. එම සැලසුමට අනුව 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉල්ලා සිටියේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි සියලු ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (tA) වගන්ති ප‍්‍රකාරව පසුව වන්දි ගෙවීමේ පදනම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නිර්දේශ ලබා දෙන ලෙස ය. ඒ සඳහා නිර්දේශ ලැබුණ මුත් ඊට අදාළ ලිපිගොනු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ වසර ගණනාවක කාලයක් තිස්සේ ගොඩ ගසා තිබෙන නමුත් ලියකියවිලි හුවමාරුවට පමණක් මේ ක්‍රියාවලිය සීමා වී ඇත. අද දක්වා ම එම වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් කිරීමට නොහැකි වීම නිසා මෙම වනාන්තර දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් එක් ව ව්‍යාජ ඔප්පු සකස් කර රටට අහිමි කරමින් පවතී.

සිංහරාජ රක්ෂිතයට අලූතින් වනාන්තර එක් කිරීම

සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය වටා පිහිටන රක්ෂිත නොවන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හෙක්ටයාර 2508.4 ක නැතහොත් අක්කර 6200 ක නොයිඳුල් වනාන්තර විශාල ප‍්‍රමාණයක් 2004 වසරේ කැබිනට් අනුමැතියට අනුව සිංහරාජයට අලුතින් එක් කිරීමට නියමිත ව තිබේ.

එම වනාන්තර රත්නපුර දිස්ත්‍රික්කයට අයත් මුරකැළේ වත්ත (50.4 ha), ෆැබ් වත්ත (181.3 ha), ඉළුබකන්ද වත්ත (567 ha), මෝර්නිග්සයිඞ් වත්ත (55.4 ha), කැන්ටර් වත්ත (130 ha), ගේස් වත්ත (137.5 ha), ගොන්හෙළ වත්ත (137.9 ha), ඇබරොස් වත්ත (35.4 ha), බැක්වෙයා වත්ත (109.9 ha), කෝදුරුගල වත්ත (99ha) හා දඹහේන වත්ත (8.6 ha), මාතර දිස්ත‍්‍රික්කයට අයත් එන්සල් වත්ත (436 ha), කුරුගල වත්ත (188 ha), බෙවර්ලි වත්ත (28 ha) හා හේමගිරි වත්ත (40 ha), ගාල්ල දිස්ත‍්‍රික්කයට අයත් හෝමදොළ වත්ත (304 ha) යන ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් වතු සමාගම් වලට ලබා දුන් ඉඩම් වල පිහිටා තිබේ. අද වන විට මෙම ඉඩම් පවරා ගැනීමට නිර්දේශ ලබා දී වසර 16 ක් ගත වී ඇතත් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු අවසන් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත.

එය පමා වන සෑම මොහොතක ම විශාල වැසි වනාන්තර ප‍්‍රමාණයක් එළි පෙහෙළි කරමින් තේ හා එනසාල් වගා බිම් ව්‍යාප්ත කිරීම සහ හෝටල් ඇතුළු ඉදි කිරීම සිදු කරනු ලැබේ.

සිංහරාජයේ ජෛව විවිධත්වය

ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් සියයට 0.17 ක් පමණ ආවරණය වන සිංහරාජ අඩවියේ මෙරට ගොඩබිම් පරිසරවල ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් සියයට 38 ක් වාර්තා වේ.

ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් සියයට 37 ක් හා මෙරටට ආවේණික ශාක විශේෂ වලින් සියයට 53 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙයි.

එම සියලූ ම විශේෂ වාර්තා වන්නේ දැනට සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය ලෙස හා සිංහරාජ වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති සීමාවේ පමණක් නොවේ. බොහෝ ස්ථානීය ආවේණික විශේෂ සිංහරාජ රක්ෂිත භූමිවලින් පිටත පිහිටි රක්ෂිත නොවන වනාන්තර ප‍්‍රදේශවලින් වාර්තා වේ. මේ නිසා සමස්ත සිංහරාජ අඩවිය ම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික ජීවී විශේෂ 40 ක් මේ වන විට පර්යේෂකයින් විසින් සොයා ගනු ලැබ ඇත. ඉන් විශේෂ 15 ක් සපුෂ්ප ශාක වන අතර ඉතිරි විශේෂ 25 සත්ත්ව විශේෂ වේ. මේ අතර උරග විශේෂ 11 ක්, උභයජීවී විශේෂ 9 ක්, මිරිදිය කකුළුවන් විශේෂ 3 ක්, මකුළුවන් හා ක්ෂීරපායීන් විශේෂ එක බැගින් වේ.

මෙරටට ආවේණික මේ සියලූ දුර්ලභ ජීවීන්ගේ හා ජල පෝෂක ප‍්‍රදේශවල සුරක්ෂිතතාව මෙන්ම සුළු පරිමාණ තේ වගාබිම්වල සුරක්ෂිතතාව උදෙසා මේ සියලූ වනාන්තර සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු ය.”

– fb – සජීව චාමිකර

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *