ලෝකයෙන්ම තුරන්ව ගිය බවට විශ්වාස කළ ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වූ කෲඩියා සිලනිකා නමින් හැඳින්වෙන ශාකය පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ.
ඒ, වසර සිය ගණනක් පැරණි බව පැවසෙන එම දැවැන්ත ශාකය පිහිටි ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක රෝපණය කිරීමට එරෙහිව ජනතාව අතරින් දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙනි.
මෙම ශාකය ඉවත් කිරීමට එරෙහිව ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය විරෝධය පළ කිරීම නිසා තාවකාලිකව නතර කෙරිණි.
මේ වන විට මෙම ශාකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද අවධානය යොමු වී තිබේ.
මොකක් ද මේ කෲඩියා සිලනිකා ශාකය?
කෲඩියා සිලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය 1868දී මුලින්ම සොයාගෙන ඇති අතර එම ශාකයේ නියැදියක් යළිත් 1911 වසරේදී හමුවී ඇතැයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.
කෙසේ වෙතත්, මෙම ශාක විශේෂය 1998 වසරේ සිට යළි හමුවී නැතැයි, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක සම්බන්ධ දත්ත ඇතුළත් ලෝක රතු දත්ත නාමාවලියේ සඳහන් වේ.
ඒ අනුව, එම ශාකය ලෝකයෙන් වඳ වී ගිය (Extinct) ශාකයක් ලෙස එහි හඳුන්වා තිබේ.
එම ශාකය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පහත් බිම්වල විශාලව වැඩෙන ශාකයක් ලෙස එහි විස්තර කර ඇත.
මෙම ශාකය ‘මගුල් කරඳ’ නමින් හැඳින්වූ බවට ඇතැම් පරිසරවේදීන් පැවසුව ද, දීර්ඝ කාලයක් තිස්සේ මෙම ශාකය දක්නට නොලැබීම හේතුවෙන් නිශ්චිත නාමයක් සඳහන් කළ නොහැකිය.
කෙසේ වෙතත්, මෙහි පත්‍ර පිරික්සීමේදී පෙනී යන්නේ, මෙය කරඳ ශාක විශේෂයට අයත් ප්‍රභේදයක් බවය.
රතු දත්ත නාමාවලිය
එම ශාක විශේෂය 2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ (Red Data List) ලොවින් වඳ වී ගිය (Extinct) ශාක විශේෂයක් ලෙස දක්වා ඇති අතර, 2012 ජාතික රතු දත්ත නාමාවලිය ද (National Red Data list) මෙය වඳ වී ගිය ශාකයක් ලෙස (Extinct) දක්වා තිබිණි.
ලෝකයේ ශාක විශේෂ සම්බන්ධයෙන් දත්ත ඇතුළත් World Flora Onlineහි ද මෙම ශාකය වඳ වී ගිය ශාකයක් ලෙස තවමත් දක්වා තිබේ.
මෙම ශාකය පිළිබඳව ලැබුණු තොරතුරක් මත මුලින්ම හඳුනාගනු ලැබ ඇත්තේ, හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ නමැති පරිසරවේදියාය.
මෙම සුවිශේෂී ශාකය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ තිබෙන viii වන උප – ලේඛනයේ ඇතුළත් ආරක්ෂිත ශාකයක් බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, එවැනි ශාකයක් විනාශ කිරීම හෝ හානි කිරීම තහනම් බවය.
මේ අතර, පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පැවසුවේ, ලෝකයටම ඉතිරි වී ඇති අවසන් කෲඩියා සිලනිකා ශාක දෙක මෙහිදී හමුවී ඇති හෙයින් එම ශාක ආරක්ෂා කිරීමට වහා පියවර ගත යුතු බවය.
“ඉස්සෙල්ලාම කරන්න ඕන මේ ශාක දෙක තියෙන කලාපය සංරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කරල ගස්වලට ආරක්ෂාව තහවුරු කරන එක. ඊළඟට අධිවේගී මාර්ගයට අදාළ පරිසර වාර්තාව සකස් කරපු සමාගමට වගේම ඒක අනුමත කරපු අයට එරෙහිව නීතිමට ක්‍රියාමාර්ග ගන්න ඕන. ඔවුන්ට ආයෙත් ශ්‍රී ලංකාවේ පරිසර වාර්තා සකස් කළ නොහැකි වෙන්න අසාදු ලේඛනගත කළ යුතුයි,” නයනක රන්වැල්ල පැවසීය.
– MB