සිංහරාජය වෙනුවෙන් සටන් කළ ලක්මාල් රණබාහුට පහර දෙයි – පොලිස් ස්ථානාධිපති

සිංහරාජය වෙනුවෙන් සටන් කළ ලක්මාල් රණබාහුට පහර දෙයි : දෙපැත්තෙන්ම පැමිණිලි ආවා – පොලිස් ස්ථානාධිපති

සිංහරාජ අධි රක්ෂිත වනාන්තරය විනාශ කිරීම සහ ඒ අවට පිහිටි පරිසර සංවේදී කලාපයේ ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා ලබාදීමේ සැලසුම්වලට එරෙහිව සටන් කළ ක්‍රියාකාරී පරිසරවේදියෙකු වන ලක්මාල් රණබාහුට කිසියම් පිරිසක් විසින් බරපතළ ලෙස පහර දී තිබේ. (24) ඔහු පදිංචි කලවාන ප්‍රදේශයේදී මේ පහරදීම සිදු වී ඇති අතර, මේ වනවිට ඔහු රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පහරදීමෙන් ඔහුගේ අතක් බිඳී ඇති අතර, මුහුණ ඇතුළු ශරීරයේ ස්ථාන රැසක තුවාල ඇති වී තිබේ. කලවාන ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් මෙසේ ලක්මාල් රණබාහුට පහර දුන් බවට ඔහුගේ සහෝදරයකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කලවාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. දයාවංශ පැවසුවේ දෙපාර්ශ්වය අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයෑමෙන් මේ ගැටුම ඇති වූ බවට තොරතුරු ලැබී ඇති බවයි. පහරකෑමට ලක්වූ පරිසරවේදියාගේ පාර්ශ්වයෙන් යොමුකරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමසීමේදී පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ දෙපාර්ශ්වයෙන්ම පැමිණිලි දෙකක් ඉදිරිපත් වී ඇති බවත්, අදාළ ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමිපුරුෂයා ද මේ වනවිට කලවාන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ය. සිද්ධියට අදාළව මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත්, තුවාල ලත් පාර්ශ්ව දෙකෙන්ම ප්‍රකාශ ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ස්ථානාධිපතිවරයා පැවසීය.
පරිසරවේදියෙකු සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ලක්මාල් රණබාහු, සිංහරාජය ආශ්‍රිතව කලවාන, කුඩව ප්‍රදේශය හරහා මාර්ගයක් ඉදිකිරීමේ තීරණයට ද ප්‍රබල විරෝධයක් පළකළ අයෙකි. අදාළ ප්‍රදේශයේ තිබූ මෙරටට ආවේණික වටිනා ශාක විශේෂ රැසක් මේ මාර්ගය ඉදිකිරීම නිසා විනාශ වී තිබේ. සිංහරාජය මැදින් පැරණි දැව සංස්ථාවට දැව ප්‍රවාහනය කළ මාර්ගයක් නැවත මෙසේ පුළුල් කර, කොන්ක්‍රීට් දැමීම සිදු වූ අතර, එමගින් සිදුවන හානිය සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් එල්ල විය.

ලෝක උරුමයක් වන සිංහරාජයට හානි වන අයුරින් මෙවැනි මාර්ගයක් ඉදිකරන බවට යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධව මෙරට ක්‍රියාත්මක වන යුනෙස්කෝ ලේකම් කාර්යාලයට ද සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පැමිණිලි කරන ලදි. ලෝක බැංකුවේ සංචාරක ප්‍රවර්ධන ආධාර මුදලක් යොදාගනිමින් මේ ව්‍යාපෘතිය සිදුකරන නිසා, ලෝක බැංකුවට ද මේ පිළිබඳව පැමිණිලි කරන ලද අතර, ඔවුන් තාවකාලිකව ව්‍යාපෘතිය නතර කිරීමට ද කටයුතු කරන ලදි.

– medialk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *